ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙට….

හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

මෙහි අරමුණ වන්නේ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට නිල වශයෙන් දියත් කෙරේ.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකමක් පවතින අතර, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතී.

එමෙන්ම එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතියද අද වන විට සක්‍රීයව පවතී. කෙසේ වෙතත්, තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන අතර, 2025 තුන්වන කාර්තුව වන විට LankaQR මඟින් සිදු වූයේ මසකට රුපියල් 395,000ක පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයකි. මෙම පරතරය අවම කිරීම සඳහා හෙට ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.

එමෙන්ම, QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව පළමු, දෙවන සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා රුපියල් 1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි වේ.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද හෙට සිට ආරම්භ කෙරෙන අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සැකසූ “සමාජ දෘශ්‍යතා දර්ශකය” (Social Visibility Index) මඟින් මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කර ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණික පියවරක් තැබීම පමණක් නොව, රටේ අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සුවිශේෂී පියවරකි. QR ගනුදෙනු ආරම්භ කිරීම ඔස්සේ වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින් කුමන ප්‍රදේශයක ජීවත්වුවද, කුමන භාෂාවක් කතා කළද රටේ සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම රජයේ අපේක්ෂාවයි.

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට OPEC+ තීරණය කරයි….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (5) සිය එකඟතාව පළකර තිබේ.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර, ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

‘OPEC+’සන්ධානය පවසන්නේ එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බවය.

කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩිකළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බව එම සංවිධානය පවසයි.

එමෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග කඩාකප්පල් කිරීම් හරහා බලශක්ති සැපයුමට සිදුවන ඕනෑම බාධාවකින් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි කරන බවට සංවිධානය අනතුරු ඇඟවීය.

මැදපෙරදිග යුද්ධයත් සමග ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගෝලීය වෙළඳපොළවලින් ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහලයයි…..

නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පවසයි.

ඊට අමතරව මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙට්‍රික් ටොන් 20,000ක් සමග තවත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති හෙයින්, මැයි මාසයේ දීද අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තොග පවතින බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ LP ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ

ඒ් සමගම ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280කි.

ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට….

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.

එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරු බෝග සහ අතිරේක වගාවන් සැලකිල්ලට ගත් විට, තවදුරටත් අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා එන පස්වෙනිදා ටොන් 25,000ක පොහොර රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, තවත් පොහොර නැව් ඉදිරියේදී ගෙන්වීමට ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“යල කන්න නැවත ආරම්භ වෙමින් පවතිනවා. එතනදි පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ පවතින ලෝක යුද තත්ත්වයත් සමග. ඒ අනුව, අත්තටම අපි ගොවි ජනතාවට කියන්නේ අපිට පොහොරවල ලොකු ගැටලුවක් එන්නේ නෑ. අපිට මේක කලමනාකරණය කරගන්න පුළුවන්.රට තුළ මඩ පොහොර අපේ අවශ්‍යතාවය ඉක්මවා තියෙනවා. බණ්ඩි පොහොරත් අවශ්‍යතාවය ඉක්මවා රට තුළ තියෙනවා. යුරියාවල තමයි ප්‍රශ්නයක් එනවානම් එන්න තිබුණේ. හැබැයි යුරියා ටොන් ලක්ෂයක ප්‍රමාණයක් තියෙනවා. වී වාගවට අපට අවශ්‍ය වෙන්නේ ටොන් 80,000ක් විතර. අතුරු බෝග සහ අතිරේක බෝග එක්ක කල්පනා කරනකොට මේ පොහොර ප්‍රමාණය ඇත්තටම මදි වෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදිහට එන පස් වෙනිදා වෙනකොට අපිට තවත් ටොන් 25000ක පොහොර නැවක් එන්න නියමිතයි. ඇනවුම් කරපු තවත් පොහොර නැවක් ඊළඟ වටයකින් එන්න නියමිතයි.”

අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි….

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බවය.

අද දින සිට ක්‍රියාත්මක වීමට නිමිතව තිබූ බදු නීතිය සහ එමඟින් ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙලෙස පැහැදිලි කළේය.

“මේ කල්දැමීම පිටුපස සාධක කිහිපයක් තිබිය හැක. එකක් තමා අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ගෝලීය ඛනිජතෙල් මිල ඉහළ යෑම තුළ දේශීය වශයෙන් මිල ඉහළ ගොස් තියෙනවා. ගෑස් මිල ඉහළ ගොස් තියෙනවා. විදුලි මිල ඉහළ ගොස් තියෙනවා. මේ එක්ක ඉදිරියට තවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට නියමිතයි. මෙවැනි සේවාවල මිල ඉහළ දැමීම විශේෂයෙන්ම තනි පුද්ගලයෝ විදියට ඩිජිටල් ෆැල්ට්ෆෝම් පාවිච්චි කරගෙන යන ආර්ථික කටයුතු ඒ වගේම ස්වයං රැකියා වගේ දේවල්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මානතකරුවෝ ලබාගන්නා ඩිජිටල් සේවා කියන දේවල්වල තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට තුඩු දෙන ආකාරයේ මිල වැඩිකිරීම් ඇති වීමට හැකියාව තියෙනවා මේ වැට් බද්ද අයකිරීම තුළ. රජය ඒ අනුව කල්පනා කරා වෙන්න පුළුවන් තියෙන තත්ත්වය තුළ මෙවැනි බද්දක් අය කළහොත් එය විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි කියන දේ මත වෙන්න පුළුවන් මේක තාවකාලිකව කල්දැම්මේ.”

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්‍රමාණය වෙයි….

2026 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.

මහ බැංකු දත්ත වලට අනුව, ඊයේ (31) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක,

ගැනුම් මිල – රු. 311.76

විකුණුම් මිල – රු. 319.31

2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මතුවූ බාහිර අංශයේ පීඩනයන්, රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.

රුපියලේ අගය පහත වැටුණද, 2025 නොවැම්බර් මාසයේ සිට දක්නට ලැබුණු ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගනිමින් 2026 පෙබරවාරි මාසයේදී ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත.

ඒ අනුව 2026 ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 487 කි.

කෙසේවෙතත්, 2026 පෙබරවාරි මස “බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය” පිළිබඳ වාර්තාවට අනුව වෙළඳ හිඟය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පුළුල් වී ඇත.

2025 මුල් මාස දෙකේ පැවති ඩොලර් බිලියන 1.1 ක හිඟය, 2026 එම කාලය තුළ ඩොලර් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා පෙබරවාරි මාසයේදී පමණක් ඩොලර් මිලියන 194 ක් වැය වී ඇති අතර, වසරේ මුල් මාස දෙක තුළ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් මිලියන 418 කි.

චීන මහජන බැංකුව (PBOC) සමඟ ඇති හුවමාරු පහසුකම (Swap facility) ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය 2026 පෙබරවාරි අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා ඉහළ ගොස් ඇත‍.

විදේශ ණය සේවාකරණය අඛණ්ඩව සිදු කළද, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම ඉහළ නැංවීම හේතුවෙන් සංචිත මට්ටම මෙලෙස වර්ධනය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

රයිස් – කොත්තු – ප්ලේන්ටි මිල ඉහළට…..

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.

මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

අප්‍රේල් මස 1 වෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවද ආපනශාලා හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආපනාශාලා පවත්වාගෙන යනු ලබන සෑම ස්ථානයකම විදුලි බිල ඒකක 180 ඉක්මවා යනු ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ විශාල විදුලි බිලක් දැරීමට සිදුවීම හේතුවෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවද හර්ෂණ රුක්ෂාන් මහතා වැඩිදුරටත් පැවසීය.

මාර්තු මාසයේ කොළඹ උද්ධමනය සියයට 2.2ක් දක්වා ඉහළට…..

අද (31) දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 මාර්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 මාර්තු මාසය සඳහා 2.2% ක් දක්වා වැඩි වී ඇත.

එය 2026 පෙබරවාරි මාසය සඳහා 1.6% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026  මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  0.7% දක්වා  වැඩි වී ඇති  අතර  2026 පෙබරවාරි මාසයේ දී එය වාර්තා වූයේ 0.2 % ක් ලෙසයි.

එමෙන්ම, 2026 මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  2.9%  ක් දක්වා වැඩි වී ඇති අතර,2026 පෙබරවාරි මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වී තිබේ.

මාර්තු ගෙවුණු දින 29ට සංචාරකයින් 175,661ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ ගෙවී ගිය දින 29 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 175,661ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 45,650ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 26%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 15,579ක්, ජර්මනියෙන් 12,603ක්, එක්සත් රාජධානියෙන් 17,030ක්, චීනයෙන් 13,449ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 10,219ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 29 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 732,316ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 145,390ක්, රුසියාවෙන් 65,812ක් සහ එක්සත් රාජධානියෙන් 77,358ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

2025 දී රාජ්‍ය ණය රු. ට්‍රිලියන 1.25කින් වැඩිවෙලා…..

මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසානයේ දී රු. බිලියන 29,994.69ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක් අනාවරණය කර සිටී.

2024 වසර අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 28,738.70ක් ලෙසින් සටහන් ව තිබුණු අතර, ඒ අනුව රු. බිලියන 1,255.99කින් හෙවත් රු. ට්‍රිලියන 1.25කින් 2025 වසර තුළ දී රජයේ ණය වැඩි වී තිබේ.

එහිදී සමස්ත දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,309.66 සිට රු. බිලියන 18,675.32ක් දක්වා රු. බිලියන 365.66 කින් ඉහළ ගොස් ඇත.

සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 10,429.04 සිට රු. බිලියන 11,319.69ක් දක්වා රු. බිලියන 890.32 කින් වැඩි වී තිබේ.