RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ්….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද (28) පස්වරුවේ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විමර්ශනයක් ආරම්භ කළේය.

අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබීය.

එහිදී අනාවරණ වී තිබුණේ නීති විරෝධීව එකලස් කිරීම සඳහා කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර ”බර සහතික” ලබාගෙන ඇති බවය.

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධීව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල වේ.

ඒ අනුව සැකකරු ඊයේ (27) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.

ඒ, කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේදීය.

මේ අතර අදාළ සැකකරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් හෙට දිවයිනට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

වන්දි ගෙවන කෙහෙළිය – මිලියන 75ක් රජයට ගෙවීමට නියෝග….

2022 වසරේදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම තුළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් කෝටි හත හමාරක් සහ සෙසු වගඋත්තරකරුවන් සිව්දෙනා රුපියල් කෝටි 5 බැගින් රජයට වන්දි ගෙවන ලෙසයි අධිකරණය නියෝග කළේ.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2022 වර්ෂයේදී ආර්ථික අර්බුදයට මුවාවී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

“හියුමන් ඉමියුනෝග්ලොබියුලින්” සහ “රිටොක්සිමැබ්” යන ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධි පිළිබඳ ඇරඹි විමර්ශන ද එහි එක් අවස්ථාවකි.

අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් ආරම්භ කෙරුණු අතර ඊට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරුණි.

අනතුරුව මෙම සිදුවීමට අදාළව රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකරනු ලැබීය.

ඒ අනුව එම නඩුව මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දිනපතා විභාග වෙමින් පවතියි.

ඒ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව, ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණි.

ඒ අනුව එම පෙත්සම් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා එහි තීන්දුව අද (27) ප්‍රකාශයට පත් කළහ.

අගවිනිසුරුවරයා සඳහන් කළේ “සේවොරිට් ෆාමසූටිකල් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති සමාගමකින් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා 2022 වසරේ සැප්තැම්බර් 26 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශය සකස් කර ඇත්තේ වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත බවය.

අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ වගඋත්තරකාර සමාගමෙන් එම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට ක්‍රියාකොට ඇතැයි තීන්දුවේ සඳහන් විය.

එමෙන්ම මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගෙන ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් බවත් එම අධිකාරියේ වගඋත්තරකාර නිලධාරින් දැන දැනම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවත් නඩු තීන්දුව තුළ සඳහන්ය.

ජනතා සුබසාධනය සඳහා වෙන්කර තිබෙන රාජ්‍ය අරමුදල් මෙමගින් ඔවුන් අවභාවිත කරමින් එම මුදල් ජනතාවට අහිමි කොට ඇති බවයි අගවිනිසුරුවරයා කියා සිටියේය.

මහජනතාවට සේවය කිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටින අතර එම බැඳීම්වල වගකීම ඔවුන් තේරුම් නොගන්නේ නම්  එය මතක්කර දීමට අධිකරණය බැඳී සිටින බවත් තීන්දුවේ සඳහන්වේ.

එබැවින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් මෙරට උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම”උල්ලංඝනය කර ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය අවසන් තීන්දුව තුළින් ප්‍රකාශ කළහ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවයි විනිසුරු මඩුල්ල නඩු නියෝග කර සිටියහ.

ඊට අමතරව එවක සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න රුපියල් මිලියන 50 බැගින් වූ මුදලක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝගයේ සඳහන් විය.

එසේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන ද රුපියල් මිලියන 50 බැගින් රජයට වන්දි ගෙවිය යුතු බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර සිටියහ.

මේ අතර මෙම ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළින් අල්ලස් පනත යටතේ කිසියම් ප්‍රතිපාදනයක් උල්ලංඝනය වී ඇත්නම් ඊට අදාළව අවශ්‍ය විමර්ශන මෙහෙයවීමට කරුණු සලකා බලන ලෙස විනිසුරු මඩුල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළහ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන් ඉල්ලා කරමින් වංචාවක් සිදු කරන බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි, ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙස ද තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

RMV ලොක්කා CID අත්අඩංගුවට….

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිල වැඩි කිරීම් ගැන අහන්න බේකරි හිමිකරුවන් වෙළෙඳ අමාත්‍යංශයට කැඳවයි….

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබේ.

එහිදී මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය තුළ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර එම මිල ඉහළ දැමීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.

බේකරි ආහාර නිෂ්පාදනය සඳහා උඳුන් භාවිතයේදී ඩීසල් යොදා ගන්නා අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල වැඩිවීම තම නිෂ්පාදන පිරිවැයට සෘජු බලපෑම් එල්ල කර ඇති බව ඔවුන් මෙහිදී පෙන්වාදී ඇත.

බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි මිල එළඹෙන අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ ප්‍රකාශ කළහ.

එහිදී මේ බව සිහිපත් කළ වෙළෙඳ අමාත්‍යවරයා අලුත් අවුරුදු සමයෙන් පසුව තිරිඟු පිටි මිල යම් ආකාරයකින් ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිකරන්නේදැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ, තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි ⁣නොකරන බවය.

ෆාම් ඔයිල් යොදා ගෙන නිෂ්පාදනය කරන මාගරින් සෞඛ්‍යයට හිතකර නොවන අතර තම නිෂ්පාදන තුළ බටර් භාවිතය දිරිමත් කිරීම සදහා දැනට පවතින බාධා ඉවත්කර දෙන ලෙස මෙහිදී බේකරි හිමිකරුවන් ඉල්ලීමක් කරන ලදී.

ඒ පිළිබඳ අවධානය යොමුකළ අමාත්‍යවරයා, ෆාම් ඔයිල් මිල හා බටර් මිල බේකරි නිෂ්පාදනවලට බලපෑමක් එල්ලකරන බැවින් බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට ඔවුන්ගේ ඉල්ලීම ලිඛිතව යොමුකරන ලෙස දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නාමල් උයන ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ….

ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඒ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින්ය.

ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීමට සමගාමීව මෙය සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක්  පුරා විහිදුණු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි.

එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීම මත, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරමින්  සමරු ඵලකය නිරාවරණය කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ  මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බවයි.

එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීම මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගය කළේය.

ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද,  ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කළේ, මෙම අවස්ථාව වත්මන් රජය ඉටු කළ විශිෂ්ටතම පාරිසරික සේවාව ලෙස ඉතිහාසයට එක්වන බවය.

මෙම වැඩසටහන හෙට (27)  ජාතික නාමල් උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණද රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එය ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා අගය කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

රට ගොඩනැඟීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ ඇති වුවමනාව මේ රටේ ජනතාවද පිළිගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලුදෙනා ඒකරාශී කර ගනිමින්  මේ වන විට රට හමුවේ මතුව ඇති අභියෝගයට විසඳුම් සෙවිය යුතු බවද පෙන්වා දුන්හ.

“1991 මාර්තු මස 28වන දා මම ජාතික නාමල් උයන කියන සුන්දර වනස්පතියට ගොස් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් විශාල කැපකිරීමකින් යුතුව කටයුතු කළා. ප්‍රදේශයේ හාමුදුරුවරු සහ ජනතාව මට විවිධ චෝදනා එල්ල කරමින් අපහාස කළා. මට විරුද්ධව පත්තර පිටු ගණන් ලිව්වා. නමුත් මම සැලුණේ නැහැ. 

හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ සමයේ බර්ට් ප්‍රේමලාල් දිසානායක මහත්තයා මට උදව් කළා. අද විදුලිය ලැබිලා තිබෙන්නේ එතුමා නිසා. ඒ වගේම චන්ද්‍රිකා මැතිනියගෙන් පසු බලයට පත්වූ සියලු ජනාධිපතිවරුන්ගෙන් මට උදව් ලැබුණා. මම ඒ  කිසිවෙකුගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. හැබැයි මට ඕන තැනකට යන්න දොරවල් විවෘත වෙලා තිබෙනවා. මොකද මම කාටවත් වැරදි කරන්නේ නැහැ.

අද ඔබතුමාගේ සේවා කාලය තුළ ජාතික නාමල් උයන පිහිටි ප්‍රදේශයේ මාර්ග හොඳින් සංවර්ධනය කර තිබෙනවා.ඒ පිළිබඳ සියලුදෙනාට මම පිං දෙනවා. ඒ වගේම ජාතික නාමල් උයන ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරිමට කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිතුමාට සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්තයාට මම කෘතවේදීත්වය පිරිනමනවා. ඒ වගේම රෝෂන් ගමගේ මහත්තයා ඇතුළු නිලධාරින් එම කටයුතු හොඳින් කළමනාකරණය කර දුන්නා. එමෙන්ම මෙම කටයුත්ත සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පුළුල් ප්‍රචාරණ දායකත්වයක් ලබා දුන්නා. එය මම ඉතා අගය කරනවා.

මේ ජාතික නාමල් උයන මගේ දේපොළක් නෙවෙයි. මම මෙහි මුරකාරයෙක් පමණයි. ඒ නිසා මගෙන් පසුව මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර දීමට මම කල්පනා කළා. එම වැඩකටයුතු හොඳින් කරගෙන යනවා. ඒ වගේම මෙම ස්ථානය ගංගාරාමයට සම්බන්ධ කර ජනාධිපති ලේකම්තුමා, වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා ආදී නිලයන් මට්ටමින් මෙම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මම කල්පනා කළා. නැත්නම් මම නැති කාලයක මෙය විනාශ විය හැකියි. 

මම මේ රට වෙනුවෙන් යමක් කළා. මම මේ රටට, ජාතියට ණය නැහැ. මගෙන් ඉටුවිය යුතු උපරිම කාර්යභාරය වන්නේ මෙහි සුරක්ෂිතතාව සහතික කර දීමයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අල්ලපු ගමේ ජන්මලාභය ලැබූ කෙනෙක් ලෙස අද ඔබතුමා අතින් මෙය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට ලැබිම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. 

ඒ වගේම පලාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දෙකක් සහ රෝහල් දෙකක් තිබෙනවා. එම අහිංසක ජනතාව වෙනුවෙන් එම එක් පාසලක් සහ රෝහලක් අංග සම්පූර්ණ පාසලක් සහ රෝහලක් ලෙස පරිවර්තනය කර දෙන්න කියා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය සහ‌ අනිල් ජයන්ත අතර හමුවක්….

මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මර්ෂවින් සහ කම්කරු අමාත්‍ය සහ කම්කරු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් අද (26) පවත්වා තිබේ.

එහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා විමසා බැලීම සහ තාක්ෂණික සහාය වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, බලශක්ති අර්බුද විසඳාගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙකක් අතර බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.

බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍රල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීම ඇති හැකියාවත් සෙසු අවශ්‍යතාවයන් පිළිබඳවත් රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳවත් මෙහිදී එහිදී අදහස් හුවමාරු කරගෙන ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan ද එක්ව සිටියේය.

රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කරමින් දුන් තීන්දුව ඉවතට….

මහත් ආන්දෝලනයකට තුඩු දුන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නාවික හමුදා සාමාජිකයින් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු  නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් ඉවත දැමූ අභියාචනාදීකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුනි.

පළාත් කිහිපයක උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක….

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ ”අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව සෞඛ්‍යය තත්ත්වයට විය හැකි බලපෑම් අවම කරගැනීමට සැලකිලිමත්ව කටයුතු කරන ලෙසය.

අධික රස්නය මේ දවස්වල කාටත් හිසරදයකි.

වැසි නොමැති කාලගුණ තත්ත්වය එක්ක මේ දවස්වල තියෙන පෑවිල්ල නිසා ජලාශවල ජල මට්ටම් පවා අඩුවෙමින් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

මෙය සෙල්සියස් අංශක 46 ත් 52 ත් අතර මට්ටමට ඉහළ ගියොත් එය ”වැඩි අවධානය යොමුකළ යුතු” තත්ත්වයක් ලෙස සැලකේ.

සෙල්සියස් අංශක 52 පසුකළොත් ”අනතුරුදායක” මට්ටමක් ලෙසයි දැක්වෙයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , දකුණ හා වයඹ , උතුරු හා උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඉදිරි පැය 24 තුළ උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව සඳහන්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රත්නපුරින් සෙල්සියස් අංශක 36.5ක් කුරුණෑගල සහ පුත්තලමෙන් සෙල්සියස් අංශක 36ක්, මත්තල සෙල්සියස් අංශක 35ක් ලෙස අද ඉහළ උණුසුමක් වාර්තාවිය.

කොළඹ නගරයේ උණුසුම අද දහවල් වාර්තාවුණේ සෙල්සියස් අංශක 32.5ක් ලෙසය.

උණුසුම් කාලගුණය හමුවේ ප්‍රදේශ රැසකම ජනතාව මේ දිනවල සිය ජීවනෝපාය සහ එදිනෙදා කටයුතු සිදුකිරීමේදී අසීරුතාවට පත්ව සිටී.

ජනතාව මෙන්ම සතා සිව්පාවුන්ද උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්ව ඇති අයුරු නිරීක්ෂණය කළ හැකියි.

ඒ අතර උණුසුම් කාලගුණය හමුවේ ජලාශවල ජල මට්ටම්ද මේ වන විට පහළයමින් පවතී.

මේ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වන ලෙසද කුඩා ළමයින් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි උපදෙස් දී ඇත.

ඊට අමතරව අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් මේ දිනවල භාවිත කරන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ.