ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.

හිටපු ඇමති රාජිතගේ පෙත්සමක් කල්යයි….

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවය.

දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද දින අධිකරණය හා පෙනී සිටින බවත් ඇය පැවසුවාය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණය පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි නිසියාකාරව නිකුත් කිරීමකින් තොරව එය සලකා බැලීමට හැකියාවක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වෙනිදා කැදවීමට නියම කළ විනිසුරුවරිය එදිනට පෙර වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි යැවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නාය.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එවක ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර තිබේ.

එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සේනාරත්න මහතා නම් කර ඇති අතර තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව රාජිත සේනරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ට අපේක්ෂිත ඇප නියම කරන ලෙසත් ඔහු කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වෙනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කළාය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති.

අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි.

එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවලින් සියයට 24ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබු තීරුබදු ප්‍රතිශතය සියයට 20ක් වේ.

කෙසේවෙතත් මෙම නව බදු ප්‍රතිපත්තිය පසුගිය පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

මේ අතර අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

අමෙරිකාව පනවා ඇති තීරුබදු සඳහා මුහුණ දීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප….

අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මරණ තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජුලි 28 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අදාළ රෝහල වෙත පැමිණි මහර මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඊයේ (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

විදේශ රටක සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමාට මරණ තර්ජන කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවය.

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය තෙදින නිල සංචාරයකට දිවයිනට….

තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඔඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නාවින්නේ වෙඩිතැබීමක්….

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (6) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට……

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇත.

එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර ඇතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර රන්මසු උයනේ ඇති ලංකාවටම එකක් වූ විශ්ව චක්‍රය සුරා,පළුදු කර හානි සිදු කරලා….

 

ලෝකය පුරාවටම සක්වල දොරටු කිහිපයක් සොයාගෙන තිබෙනවා,මහා රාවණා රජු සබඳතා දැක්වූවා කියන ශිෂ්ඨාචාරවලට අයත් වීම පුදුම සහගත වේ.

මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි එහි ඇත්තේ තාරකා දොරටුව,මෙතෙක් ලෝකය පුරාවටම සොයාගත් තාරකා දොරටු අතරින් අක්ෂර සහ රූපවැඩි කොටසක් ආරක්ෂා වී පවතිනුයේ අපේ තාරකා දොරටුවෙහි.අප රටට අයත් තාරකා දොරටුව පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේය.

අනුරාධපුර රන්මසු උයනේ පිහිටා ඇති මෙම විශ්ව චක්‍රය මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් යන බවට අනුරාධපුර සිරි සුව අරණේ විහාරාධිපති පූජ්‍ය ගලෙන්බිදුණුවැවේ සෝමරතන හිමියන් ප්‍රකාශ කරයි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම විශ්ව චක්‍රය මත යම් මානසික මට්ටම් ඇති මිනිසුන් විසින් සූරා, පළුදු කර එය විනාශ කිරීමට මේ වන විට කටයුතු කරමින් යන බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කළේ

ඉතා කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුයි,මේ ශුද්ධ වූ භූමියේ පිහිටලා තිබෙන,ලෝකෙම මේ වැනි චක්‍ර තිබෙන්නේ තුනයි, ඉන් එකක් තමයි මේ පිහිටලා තිබෙන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති විශ්ව චක්‍රය , විවිධ මානසික රෝග තිබෙන,විකෘති අදහස් තිබෙන එක එක පුද්ගලයෝ මේවා බලන්න එනවා, ඇවිත් මේ කරල තියෙන හානිය පිළිබඳව අපි මේ රජයට,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පෙන්නලා දෙනවා ගඩොල් කෑලි අරගෙන විශ්ව චක්‍රය මේ වන විට හූරලා,පළඳු කරලා හානි කරලා,තිබෙන අයුරක් තමයි අපිට මේ පේන්නේ.

ඉදිරි අනාගතයට අපේ ඉදිරි දරුවන්ට ඒ වගේම අපේ රටට,අහිමි වී යන ඉතා වටිනා ස්ථානයක් තමයි මේ රන්මසු උයනේ විශ්ව චක්‍රය.

අපි ඉල්ලා සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ සිටිනවා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ඒවගේම මේ රජයේ ජනාධිපතිවරයාගේ අග්‍රාමාර්තිතුමියගෙන් ඒවගේම මැති ඇමතිවරුන්ගෙන්, වෙන වෙන වැඩ නවත්තලා,විදේශකයෝ ගේන්න පුළුවන් ඩොලර් රටට ගේන්න පුළුවන්,ලෝකෙට පෙන්නන්න පුළුවන් මේ ශුද්ධ භූමිය,මේ විශ්ව චක්‍රයට මොනයම් හෝ හානියක් වෙලා මේ තියෙන ලක්ෂණ හෝදලා දලා දලා දලාම ටික හැඩතල වලට හානියක් වුණොත්,මේ වෘත්තාකාර හැඩවලට හානියක් වුණොත්, මේ මැකෙන්නේ අපේ ඉතිහාසය,ඒ ඉතිහාසයයි අපට නැතිවීගෙනන යන්නේ,මේ රජයට ඉතිහාසය ආරක්ෂා කරන්න ඕන කියන කිසිම සංකල්පයක් නැති බටහිර ප්‍රතිපත්තිත් එක්ක පමණක් ජීවත්වන පිරිසක්.

රටේ ජීවත් වෙන සියලු පුරවැසින් මෙම විශ්ව දොරටුව ආරක්ෂා කර ගැනීම සඳහා, එකතු වෙන්න සංවිධානයවෙන්න,සියලු බලධාරන්ගෙන් ඉල්ලාා සිටින්නේ මේ වගේ හානිකරන විනාශ කරන පළඳු කරන අයට දැඩි නීතිගේන්න, මේවා සංරක්ෂණ කර ගන්න කැමරාවක්වත් අඩුම හයි කරල නෑ, එනිසා අපි කියන්නේ මේ මේවා සංරක්ෂණය කරගන්න මුරකරුවෝ ඉන්නවා රැකියා ලක්‍ෂ වලින් පිරිස අරන්ඉන්නවා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඉන්නවා,මේකට ආරක්ෂාව ලබාදෙන්න මේක සංරක්ෂණය කරලා දෙන්න.

මිහින්තලේ – දුලංජ මධුසංඛ