වර්ජනය අත්හැර සාකච්ඡාවට සූදානම් නැහැ – තැපැල් සේවකයින් දැඩි තීරණයක….

වර්ජනය අත්හැර කිසිදු සාකච්ඡාවකට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසීය.

අඛණ්ඩව ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ දක්වාත් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදී නොමැති බව සඳහන් කළ චින්තක බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත්හැර සාකච්ඡාවකට පැමිණෙන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බවය.

කෙසේවෙතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැර කිසිඳු සාකච්ඡාවක් සිදුකිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

මේ වනවිටත් ලක්ෂ 17කට ආසන්න තැපැල් මලු ප්‍රමාණයක් තැපැල් ස්ථාන ආශ්‍රිතව ගොඩගැසී ඇති බවද ඔහු පැවසීය.

වරෙන්තුව කියවා රාජිතගේ නිවසේ දොරේ අලවයි

නොතීසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් දැන්වීම් අලවනු ලැබීය.

ඒ අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින්.

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත්කිරීමේ ව්‍යාපෘතියක් අවිධිමත්ව සිදුකිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව මෝසමක් මගින් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරු ඔහුට නොතීසි නිකුත් කෙරුණි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන අගෝස්තු 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නොතීසි නිකුත් කළේය.

දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්….

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර ලැබීය.

දයාසිරිගෙන් කථානායකට ලිපියක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (21) කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා එලෙස ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ, පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,

a (1)

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා…..

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (21) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට ද නියම වුණි.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ  ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය….

ජාතික විගණන කාර්යාලය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

පසුගියදා (19) වනදා රැස්වූ මුදල් කාරක සභාවේ දී ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි.

2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා 19 වනදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වැඩබලන විගණකාධිපති ජී.එච්.කේ ධර්මපාල මහතා ඇතුළු ජාතික විගණන කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳව ද අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි..

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති හා රාජ්‍ය ව්‍යාපාර ඇතුළු ආයතන 2000කට ආසන්න ප්‍රමාණයක් විගණනය කිරීම සිදු කරන විගණන කාර්යාලයේ සේවක හිගය, නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

වරලත් ගණකාධිකාරී මට්ටමේ උසස් නිලධාරීන් 35ක් පමණක් ජාතික විගණන කාර්යාලයේ දැනට සේවය කරන බවත් වත්මන් වැටුප් තල හමුවේ ගණකාධිකරණ උසස් විභාග සමත් නිලධාරීන් රඳවාගැනීමේ ගැටලුවක් ඇතිබවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

මීට අමතරව ජාතික විගණන කාර්යාලය යටතේ පළාත් මට්ටමින් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, කෘතීම බුද්ධිය වැනි නවීන තාක්ෂණික අංග යොදා ගෙන අවම සේවක ප්‍රමාණයකින් කාර්යක්ෂමතාව වැඩිකිරීමේ හැකියාව යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්ඡි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

ඩයනා ගමගේට වරෙන්තු නිකුත් වෙයි…..

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරුණි.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණි.

ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි…..

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජූලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවන ලදී.

ඒ අනුව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේව්‍ය, සේවකයින්, මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරන අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්, ආයතන 2025 සැප්තැම්බර් 05 දිනට පෙර  psicairport@gmail.com ඊමේල් (Email) ලිපිනයට හෝ    070-3307700 Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටී.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු…

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නුදුරේදීම සකස් කර අවසන් කිරීමට හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව පවසයි.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ විද්වත් කමිටුව එහි සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා රැස්වුණි.

එහිදි පනතට ගෙන එනු ලබන සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියමුන්ති පීරිස්, ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් වු කමිටුව මේ වන විට 14  වතාවක් රැස්ව ඇති අතර එහි මීළඟ සාකච්ඡාව හෙට (22) දින රැස්වීමට නියමිතය.

පනත් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස්, සිවිල් සංවිධාන අදහස් හා අන්තර්ජාතික ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගැනීමට කටයුතු කර තිබේ.

කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි….

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

ඊයේ (20) පස්වරුවේ මෙම හමුව පැවැත්වුණි.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම, කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්වී තිබුණි.