නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට නිවේදනයක්….

නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා, නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙසය.

එමෙන්ම ඖෂධ භාවිතා කරන පුද්ගලයින් සෑම විටම ඒවා ළඟ තබා ගත යුතු බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා ඉල්ලා තිබේ.

නේපාලයේ පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත්, නේපාලයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ ප්‍රජා නායකයින් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

නේපාලය තුළ සිසුන් 22ක් ඇතුළුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටින අතර තානාපති කාර්ය මණ්ඩලයද ඊට අයත් බවත් මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය  වැඩිදුරටත් පැවසීය.

සියයට 6.8ක විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL මහජන අදහස් විමසයි….

2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවය.

වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ.

මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් මාර්ග ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඊමේල් – info@pucsl.gov.lk
වස්ඇප් – 076 427 1030
ෆේස්බුක් – www.facebook.com/pucsl
තැපෑලෙන් –  තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
කොළඹ 3

උපදේශන පත්‍රිකාව සහ යෝජිත යෝජනාව පහත සබැඳියෙන් නැරඹිය හැකිය. https://www.pucsl.gov.lk/proposed-electricity-tariff-revision-2025-sept/

ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි….

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

එනම් සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දුනි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේද නැත.

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එම පොලිස් කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය  දෙසැම්බර් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින “බැකෝ සමන්” නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අදාළ සැකකාරියගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසාදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ  චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්…..

අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.

සම්පත් මනම්පේරි ගැන කැබිනට්ටුවේදී හෙළිවූ දේ….

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සම්පත් මනම්පේරි නම් අය කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඔහු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ රවිරාජ් නඩරාජ් ඝාතන සිද්ධිය සම්බන්දව සැකකරුවෙකු බවටද හඳුනාගෙන ඇති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්. රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හැටියටත් ඔහුව හඳුනාගෙන තියෙනවා. ඒ අනුව ඒ චෝදනා තිබියදී තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්නේ. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතිං නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලීසියට භාර දෙන එක…”

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට…..

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)”  පනත් කෙටුම්පත හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර තිබේ.

අද (09)  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී ඇත.

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය…..

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය  සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෙහෙළියගේ නඩුවක් අවසන්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන  නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළේය.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

හිටපු මන්ත්‍රී රාජිතට රාජිතට ඇප හිමිවෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.