කජ්ජා ඝාතනය ගැන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනා ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු දෙසැම්බර් 02 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.

ශ්‍රී ලංකාව සාගර නීතිය පිළිබඳ UN සම්මුතියක රාජ්‍ය පාර්ශ්වකරුවෙක් බවට පත්වෙයි….

ශ්‍රී ලංකාව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධයෙන් වන සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වකරුවෙකු බවට පත් වෙමින් ඒ පිළිබඳ අපරානුමත ලේඛනය ඊයේ (16) එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැනුම් දෙයි.

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම, සමුද්‍රීය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ නායකත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමෙන්ම 1982 වසරේදී සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) වැඩි දියුණු කිරීමේ සඳහා ලබා දුන් නායකත්වය ඇතුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍රීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවද එහි සඳහන් වේ.

ආරම්භයේ සිටම ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම් සාකච්ඡාවල ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව නිරත වී ඇති බව පැවසේ.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මානව වර්ගයාගේ යහපත උදෙසා සමුද්‍රීය සම්පත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහ ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තරව හඳුනා ගැනීමේ මෙම ඓතිහාසික ගමන් මඟෙහි  පාර්ශ්වකරුවෙකු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අභිමානයට පත් වේ.

ශ්‍රී ලංකාව, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ, ගිවිසුම ක්‍රියාත්මක කිරීම, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය වැඩි දියුණු කිරීමේ මාධ්‍යයක් ලෙස සලකයි.

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ ගිවිසුම අනුමත කිරීමෙන්, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජාන සම්පත් (MGRs) සහ ඩිජිටල් අනුක්‍රමික තොරතුරු (DSI) වැනි සම්පත් සාධාරණ හා සමාන ලෙස බෙදා ගැනීම තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම ගිවිසුම මගින් ශාක්‍යතා සංවර්ධනය සහ සමුද්‍රීය තාක්ෂණ හුවමාරු කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට අවස්ථාවන් සපයයි.

එපමණක් නොව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනෙකුත් ජාතීන් සමඟ සාමූහිකව කටයුතු කිරීමට ද මෙමඟින් හැකියාව සැලසෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි…..

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණි.

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණි.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක්….

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක්  ලබාගැනීමට හැකියාව ඇති බවය.

ඒ සඳහා සියයට 7 ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ  වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති  බව සඳහන් වේ.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7 ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

‘කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ…’ රාජ්‍ය සේවකයින්ටත් ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්…

2022 – 2023 ආර්ථික අර්බුදය සහ ඒ තුළින් ජනිත කළ සමාජ ඛේදවාචකය ඕපපාතික ක්‍රියාවක් නොවන බවත් ඒ හා බැඳුනු විශාල සාධක ගණනාවක් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

යළි කෙදිනකවත් ශ්‍රී ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බවට ජනතාවට සහතික වන බව ද මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඉදිකිරීම්වලින් පමණක් රටක ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය නොවන බවත් පැති ගණනාවකින් එය තහවුරු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම සමස්ත ආර්ථිකය සහ ජන ජීවිතය විශාල කඩා වැටීමකට ලක්ව තිබු මොහොතක 2026 අයවැය තුළින් ආර්ථික අර්බුදය අවසන් කිරීමට සැලසුම් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“විශේෂයෙන් පසුගිය ජනවාරියේ චීන සංචාරයේ දී මා චීන ජනපතිගෙන් ඉල්ලා සිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත ආරම්භ කර ඇති ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. එතුමා විශේෂ අවධානය යොමුකරලා ඒ නතර වී ඇති සියලු ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය ආධාර චීන රජයෙන් ලබාදෙන්න එකඟත්වය පළ කරා. එයට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. 

ඒ වගේම අපි මෙම අධිවේගී කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ අනුව එතුමාලා අපිට දැනුවත් කළා ඩොලර් වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත් එය යුවාන්වලින් ගෙවිය හැකි බවත්. ඒ අනුව 2.5% – 3.5%අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ප්‍රදානයට චීන එක්සිම් බැංකුව අපිට කැමැත්ත පළ කරා. එයට ස්තූතියි.”

නීතිය ඉදිරියේ සියලුදෙනා සමානයි යන සංකල්පය ඇති කළ බවත් නීතියට සෑම පුරවැසියෙක්ම යටත් කර ස්ථාවර රාජ්‍යයක් බිහි කරන බව ද පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අපිට මේ මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීතියානුකූල හමුදාවන් විසින් කුඩු ප්‍රවාහනය කරනවා.එය මැඩපැවැත්වීමට ඉන්න පොලීසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය විසින් නීතිවිරෝධී පාස්පෝට් හදලා දෙනවා. නීතියානුකූල පාස්පෝට් සෑදීම වැළැක්වීම සඳහා තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට මෝටර්රථ ලියාපදිංචි කරලා දෙනවා. මෝටර්රථ ලියාපදිංචියට තියෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබාදෙනවා. ඒ නිසා මේ මතුපිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. තැන තැන වෙඩිතැබීම්, මත්ද්‍රව්‍ය ආදි විශාල සමාජ අපරාධවලින් ගහණ වූ යටිබිම්ගත රාජ්‍යයක්. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා.”

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජයේ විශාල ව්‍යවසනයක් ඇති කර ඇති බවත් එය මැඩපවත්වන බවත් පැවසු ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය අභියෝගය හා විශ්වාසය පොලීසිය භාරගෙන ඇති බවත් ඔවුන්ට ස්තූතිය පළ කරන බවත් පැවසීය.

මහජන මුදල් සතයක් හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් මේ වනවිට ඇති කර ඇති බවත් තැන තැන පරණ ඇබ්බැහිවලට ලොල්වූ පුද්ගලයින් ඇති බවට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“පරණ ඇබ්බැහිවලට ලොල්වු රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පුද්ගලයින් සහ සමහර තැන් අපි හඳුනාගෙන තියෙනවා. අපි නැවත නැවත කියන්නේ අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් ඔවුන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්නේ නැත්නම් ඔවුන්ව අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන සාංඝික දේපොළක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි.”

2026 වසරේ දී රු කෝටි 11,000ක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට වෙන්කර ඇති බවත්, 2027 වන විට රාජ්‍ය සේවයේ වැඩි වූ වැටුප් ගෙවීමට පමණක් රු කෝටි 33,000ක් වැය කරන බවත් පැවසු ජනාධිපතිවරයා එය රාජ්‍ය අයවැය ලේඛනයේ විශාල මුදලක් බවත් එයට සරිසරන සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් බවත් පැවසීය.

රාජ්‍ය ආයතනවලට අදාළව වාහන 2,000ක් මේ වසර තුළ ආනයනය කිරීමට දැනටමත් අනුමැතිය ලබාදී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා ලබන වසර වනවිට රාජ්‍ය සේවයේ සියලු වැඩකටයුතු ඩිජිටල්කරණය කිරීමට හැකි වන බවද කියා සිටියේය.

ආර්ථිකයේ සෑම කේෂ්ත්‍රයකම වැදගත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි පැවසු ජනාධිපතිවරයා, ආදායම් ඉලක්ක මෙවර අයවැය තුළින් ඉටුකරගන්නා බව ද පැවසීය.

මේ වසර අවසන් වනවිට 5%කට ආසන්න ආර්ථික වේගයක් අත්පත් කරගැනීමට අපේක්ෂා කරන බව ද පැවසු ජනාධිපතිවරයා, මේ වසර අවසන් වන විට බිලියන 7ක් ඩොලර් සංචිත ප්‍රමාණයක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ඩොලර් බිලියනක ඍජු ආයෝජන මේ වනවිට මෙරටට කැඳවා ගැනීමට හැකිව තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා තවත් ව්‍යාපෘති රැසක් සපුරාගැනීමට නියමිත බව ද පැවසීය.

“බිඳවැටුණු රාජ්‍යයක් තොරන් ආර්ථිකයින් නොව ස්ථාවර ආර්ථිකයින් ගොඩනඟමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ, ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන, නීතියේ ආධිපත්‍ය වැදගත් හැරවුමකට භාජනය කළ වසරක් බව…”

“අපි ආර්ථිකය ගැන විශ්වාසය තහවුරු කළ යුතුයි. මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ විවිධ මුල්‍ය ආයතන ලංකාවේ ආර්ථිකය ගැන දෙන සංඥව ඉතා වැදගත්. ලෝක බැංකු නිවේදනයකින් කියනවා බිඳවැටුණු රටවල් ගොඩනැගීමේ දී වේගවත්ම රට ශ්‍රී ලංකාව කියන නාමය අපිට ලබාදීලා තියෙනවා. ඒවා වැදගත් සාධක. ඒ නිසා ඉතාම ස්ථාවරව මේ ගමන අපි යමින් ඉන්නවා. එළියේ කුඩා කුඩා දේශපාලන කැලඹීම් තියෙනවා. අපි බලන්නෙවත් නෑ.”

“අපි අවශ්‍ය වන්නේ දියුණු දේශපාලනඥයෙක්. දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නෑ වන්දනාමාන කරන පුරවැසියෙක්. තම තමන්ගේ වගකීම් ඉටුකරන පුරවැසියන් අපට අවශ්‍යයි. මිනිස්සුන්ව මේ දේශපාලන අධිකාරිය බියකළා. ලෝකයේ දියුණු හැම රටකම දේශපාලන දියුණුව වගේම පුරවැසියාගේ දියුණුව වැදගත්. දේශපාලකයාට බය පුරවැසියෙකුගෙන් රටක් ඉදිරියට යා නොහැකියි. රටක් ඉදිරියට යා හැක්කේ දියුණු පුරවැසියෙකුගෙන්. ඒ පුරවැසියා බිහිකළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා.

කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමන්ගේ අදහස් නිර්භයව කියන, පොදු සාමුහික ක්‍රියාවලට එකතු වන, සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස්සුගෙන් පමණයි දියුණු ජාතියක් හැදිය හැක්කේ. අපි විශ්වාස කරනවා ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. අපිට කළ හැකියි.”

ව්‍යාපෘති නිසි කාලයට නිම නොකිරීම ආර්ථිකයට විශාල පාඩුවක් බවද සඳහන් සිටි ජනාධිපතිවරයා, නියමිත කලට මධ්‍යම අධිවේගයේ කටයුතු කිරීම නිලධාරින් සතු වගකීමක් බවත් එයට අවශ්‍ය සියලු සහාය රජයක් ලෙස ලබාදෙන බවත් මෙහිදී අවධාරණය කර සිටියේය.

ගම්මන්පිලගේ පෙත්සමක් සලකාබැලීමට දිනයක් දෙයි….

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවය.

මධ්‍යම කඳුකරයට ඝණ මීදුම් තත්ත්වයක්…..

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විදුලි සේවකයින් අද ලෙඩින්….

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බවය.

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්….

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.

1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කෙරේ.

මේ වන විට වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතී.

ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්වී සිටී.

මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බවය.

“පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු.” යනුවෙන් ද මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.