තංගල්ල නෙටොල්පිටියෙන් සොයාගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ….

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබි සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ලබන සතියේ පොලිසිය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ අදාළ ද්‍රව්‍යවල පරීක්ෂණ කටයතු මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළි වු තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකවල දමා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබීය.

අනතුරුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සහ කඳාන ප්‍රදේශයෙන් ද එවැනිම ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා එහි සාම්පල අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලයට සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.

ඒ අනුව මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල මෙතැම්ෆෙටමීන් හෙවත් අයිස් අඩංගු බවට අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විටත් තහවුරු කර තිබේ.

අදාළ ස්ථානයෙන් ලබාගත් සාම්පල 20න් 17කම මෙතැම්ෆෙටමීන් රසායනික ද්‍රව්‍ය අඩංගු වූ බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය ලබා දුන් වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍යවල පරීක්ෂණ වාර්තාව ද ඉදිරි සතිය තුල පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන බව අන්තරායකර ඖෂක පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේය.

කඳාන ප්‍රදේශයෙන් සොයා ගත් ද්‍රව්‍ය වල පරීක්ෂණ වාර්තාව ද කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.

ආගමික අධ්‍යාපනය සහ සෞන්දර්ය විෂයන් කප්පාදු නොකරන බව අගමැතිනිය කියයි…..

වත්මන් රජය ය‍ටතේ ආගමික අධ්‍යාපනය මෙන්ම සෞන්දර්යය විෂයන් කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේබව ප්‍රකාශ කළේ බුද්ධ ශාසන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

එමෙන්ම නව විෂය නිර්දේශය යටතේ බුද්ධ ධර්මය පෙළ පොතේ අඩංගු කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බවය.

ඉන්පසු දරුවන්ට තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී අවධානය යොමුවී ඇති අතර විධිමත් සැළැස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

විදුලි සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි….

අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධ වීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනා, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියා සිදුකිරීම, හිඟ දිරි දීමනා ලබාදීම සහ නියමිත උසස්වීම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමිනි.

එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි.

මෙවන් පසුබිමක විදුලිබල වෘත්තීය සමිති අද (21) ප්‍රකාශ කළේ සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්‍ර කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ක්‍රියාවලට හා ටෙන්ඩර් පටිපාටිවලට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කරන බවය.

ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.

ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වේ.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි…..

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ ඒ මහතා කරන්දෙණිය බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මහීල් මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරි පත් විය.

මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ මරණය හෘදයාබාදයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කෙරේ.

මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

අම්බලංගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

දුරදිග ගිය ආරවුල තරුණයෙකුට දිවි අහිමිකරයි….

හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඉන්දීය නෞකාවක් කොළඹ වරායට….

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

සැපයුම් හා ‍සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම නෞකාව ඊයේ (20) මෙරටට පැමිණි බව නාවික හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.

දිවයිනට  පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විතයි.

‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්….

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ…”

ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය ඇමති කියයි….

මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි

අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය.

එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා

“සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්.  දකුණු ආසියානු රටවල මේ මොහොතේ වෙළෙඳපොළ තත්ත්වය මොකක්ද කියන එකත් සලකලා බලලා යම් මිල පරාසයක් නියම කරලා තියෙනවා. ඒකට කැමති නැති කට්ටිය ඖෂධ සපයන්නේ නෑ. SPC එකට අපි ඇණවුම් ටික භාර දීලා තියෙන්නේ ටෙන්ඩර් කරන්න කියලා. දැන් ඒ කටයුතු සිදුවෙනවා 80%-85%ක් විතර දැන් ඒ කටයුතු අවසානයි. අපි ප්‍රසම්පාදනය කරපු ඖෂධ මේ නොවැම්බර්වලින් පසුව එන්න නියමිතයි. අනෙක් කාරණය විවිධ හේතුමත ව්‍යාපෘති නතර කිරීමේ ප්‍රතිඵලය තමයි දැන් දෙගුණයක් මුදල් වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයෙන් මේ වෙනුවට. ව්‍යාපෘති 17ක් තියනවා ලංකාවේ නතරවුණ තැනින් ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘති 17ට වර්තමානයේ වියදම් කරන්න වෙලා තියෙනවා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 59ක්. නියමිත පරිදි 2018දී 2020දී හෝ 2022දී අවසන් කළා නම් අපිට යන්නේ බිලියන 29යි.”

2025 වසරේ මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 51ක් පොලිස් පරීක්ෂාවට….

2025 වසරේ මේ දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 1,422 ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (20) ඔහු ඒ බව සඳහන් කර සිටියේය.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ හෂිෂ් කිලෝග්‍රෑම් 471 ක්, කොකේන් කිලෝග්‍රෑම් 29ක්, ගංජා කිලෝග්‍රෑම් 13,773 ක්, මත්ද්‍රව්‍ය පෙති මිලියන 3.5ක් ද නිලධාරීන් භාරයට ගත් බවය.

එහිදී T-56 අවි 61ක්” පිස්තෝල 62ක් සහ රිවෝල්වර් 40ක් වෙනත් ගිනිඅවි 1,721ක් සොයා ගෙන ඇත.

2025 ජනවාරි පළමු වනදා සිට මේ දක්වා වෙඩිතැබීමේ සිද්ධිවලට අදාළව වෙඩික්කරුවන් 38 දෙනෙකු, පැදිකරුවන් 27 දෙනෙකු, ආධාර අනුබල ලබාදීමේ සිද්ධිවලට අදාළව පුද්ගලයින් 263 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර දෛනික පොලිස් විශේෂ මෙහෙයුම්වලදී ජනවාරි 12 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 5,101,516ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකපිට පුද්ගලයින් 104,602ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 4630 දෙනෙකු අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 46,909 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 3404 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.