දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති….

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබාදීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.

පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව සඳහන් වේ.

මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ  අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු ව ඇත.

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට……

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,  තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා හා මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි 2වැනිදා සිට මැයි 10වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති අරුණ කරුණාතිලක අතර සාකච්ඡාවක්…..

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික හවුල්කාරීත්වය ලබා දීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළ කර ඇත.

එමෙන්ම ගුවන්තොටුපළ මෙහෙයුම් සඳහා නවීන තාක්ෂණික උපකරණ, ගුවන් අවකාශ කළමනාකරණය ආදී අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් විදේශ ආයෝජන සහ විශේෂඥ සහාය ලබා දීමටද හැකි බව ඔහු මෙහිදී පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ වරාය කටයුතු ගැන සැලකීමේදී දැනටමත් වරාය පර්යන්ත කිහිපයක් පෞද්ගලික හවුල්කාරිත්වය ඇතිව මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යන බවය.

එමෙන්ම හම්බන්තොට වරාය ද වෙනස් ආකෘතියකින් පවත්වාගෙන යන බවත් ඉදිරි අලුත් පර්යන්ත මෙහෙයුම් සඳහා පෞද්ගලික හවුල්කාරීත්වය සොයමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ කොළඹ වරාය ලෝක මට්ටමේ සම්පත් තිබෙන ස්ථානයක් බවත්, දැනට තිබෙන වසර 15ක ඉදිරි සැලසුම් ඉතා ආකර්ෂණීය බවත්ය. එමෙන්ම ගුවන්තොටුපළ සඳහා ද ඇති සංවර්ධන ව්‍යාපෘති දිගුකාලීන සැලැස්මකට අනුව සිදුවන බැවින් ඊට සිය සතුට පළකරන බව ද ප්‍රකාශ කළේය.

තවද කොළඹ වරාය වාණිජ වරායක් වූවද සංචාරක කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට උදව් කළ හැකි බව ද මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාකච්ඡාව අවසානයේ අමාත්‍යවරයා යුරෝපීය රටවල් ඇතුළු විදේශ ආයෝජකයින් සමඟ හවුල්කාරීත්වය වැඩි කර ගැනීමට සූදානම් බවත් එමඟින් ජාත්‍යන්තර සහයෝගීතාවයන් වැඩි දියුණුව ද වඩා හොඳ ආර්ථක ප්‍රතිලාභයන් ලබා ගැනීමට ද ඉලක්කය වන බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස් තෙරේසා ඕ මහෝනි  (Theresa O Mahany) මහත්මිය ද, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වූහ.

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අරමුණයි – අගමැතිනිය…..

දරුවෙකුට ආදරය හා රැකවරණය ලබා දෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම තම අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අද (20) පැවැති වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමින් ඇය සඳහන් කළේ, පාසල් තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන පද්ධතියේ සියලුම නිලධාරීන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කරමින් ඔවුන්ට ගුණාත්මක වෘත්තීය මාවතකට යොමු වීමට අවශ්‍ය මගපෙන්වීම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රූම් ටු රීඩ් ශ්‍රී ලංකා ආයතන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවේදී ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රයට අදාළ මාර්ගෝපදේශ සංග්‍රහයක්ද එළිදක්වා ඇති අතර, එය යටතේ උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමට උපකාරී වන ධාරිතා සංවර්ධන මොඩියුල, කළමනාකරණ අත්පොත් සහ 21 වන සියවසට අදාළ නිපුණතා මොඩියුල ඇතුළත් කර ඇත.

ඒ අනුව, උපදේශන ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන්, සිසුන් ගැටලු වලට පෙලඹීම වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග සහ දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

“යහපත් පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත හා හිතකර පරිසරයක් පාසල් තුළ සකස් කිරීම රජයක් ලෙස අපගේ වගකීමයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ඉන්දීය උප ජනපති ගංගාරාම විහාරය වැඳපුදා ගනී….

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) පස්වරුවේ හුණුපිටිය ගංගාරාම විහාරය වැඳපුදා ගැනීමට එක්විය.

හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී පිටිගල පොලිස් වසමේ බඹරවාන උස්බීම් ජනපදය ප්‍රදේශයේ ඩීජේ වත්ත යන ස්ථානයේ කිසියම් පිරිසක් විසින්  කලහකාරී අන්දමින් හැසිරීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට සම්පත් අතුකෝරළ මහතා එහි ගොස් ඇත.

එහිදී එක් පුද්ගලයකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

බලශක්ති අර්බුදය විසඳන්න වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්නවාද ?

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ ක‌ළේය.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් තාප විදුලි උත්පාදනය අඩුවීමට පිළියමක් ලෙස මෙම පියවර ගැනීමට යෝජනාවී ඇති බව ද ඔහු අවධාරණය කරයි.

පසුගිය මාර්තු 24 වෙනිදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව බහුජන ලේකම්වරයා පෙන්වා දුන්නේය.

“බාල ගල්අඟුරු හේතුවෙන් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනය අඩාල වීම නිසා විදුලි නිෂ්පාදනයට ඩීසල් බලාගාරවල විදුලිය ජනනය කිරීමේදී  අධික පිරිවැයක් දරන්නට සිදුවෙන බව දැනටමත් වාර්තා වෙනවා. සිදුවන පිරිවැය පාරිභෝගිකයන් මත පැටවීමට එරෙහි විරෝධතා මතුවන නිසා ආණ්ඩුව මෙම තීන්දුව අරන්. ‘එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට වූ කාරියා’ කියලා අර ඉඳුරුවෙ ආචාරියා ගැන කියනවා වගේ දැන් ආණ්ඩුව මේ බාල ගල්අඟුරු ප්‍රශ්නය නිසා සීයක් කඩතොලු ඇතිරමින් තිබෙනවා.

අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 පට්ටමේ පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවෙ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා. 

ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වනවිට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා. 

මේ වනවිට ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වෙලා. බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් පාරිභෝගික අවශ්‍යතාව ඝන මීටර් 12000ක් වුවත් දෛනිකව බෙදාහරින්නට හැකිව තියෙන්නෙ ඝනමීටර් 500ක් පමණයි.

ඒ විතරක් නෙවෙයි, මේ හේතුව නිසා පල්කෙැලේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සැපිරීම අභියෝගයක් වෙලා, මොකද ජලය නැති නිසා අප්‍රේල් 10 වැනිදා කම්හල් වසා දමන්නට පියවර අරන්.

මේ තත්වය නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය විදියට කලමනාකරණයේ ගැටලුවක් ඇතිවන නිසා මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙනවා. අපි ආණ්ඩුවට කියන්නෙ වහාම මේ අමනෝඥ තීරණය හකුලා ගන්න කියලා.”

මේ අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් අප ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතාගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු පැවසුවේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර වියළි කාලගුණ තත්ත්වයක් යටතේ සාමාන්‍ය පරිදි එම ජලාශයේ ජලයෙන් විදුලිය උත්පාදනය කරන බවය.

ඒ අනුව අප එල්ලවන චෝදනා පිළිබඳ විමසීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කිහිපවරක්ම ඇමතුවත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

එළියට ආ හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්…..

සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නියෝජිතයෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස ගල්අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වනවිටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රධානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාළව බැංකු විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාළ බැංකුව විසින් නිකුත් කරන ලද දිනය යන මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක හඬපටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට සමාජ මාධ්‍ය ජාලතුළ ප්‍රචාරය කර ඇති බවය.

තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා – මානව හිමිකම් කොමිසම…..

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ඒ උපුල්දෙණිය මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනය අවසන් කරමිනි.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම හා වැඩ තහනම් කිරීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම නිගමනය කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට චෝදනා එල්ලවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මතය.

ඒ අනුව අතරතුර ඔහුගේ වැඩ තහනම් කිරීමට 2025 වසරේ ජුනි 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ විමර්ශන අපක්ෂපාතීව සිදුකළ යුතු බව පවසමිනි.

සිදුකළ විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා 2025 වසරේ ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගැනෙන අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුව ඇපමත මුදාහැරිණි.

මෙම සිදුවීමේදී උපුල්දෙණිය මහතාගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව ඔවුන් සිදුකළ විමර්ශනයේදී නිරීක්ෂණය කර ඇත්තේ වින්දිතයා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව හා ප්‍රමාණාත්මකව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බවත් මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වේ.

එහිදී ඔවුන් වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

එසේම, අධීකරණ අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව තුළ වින්දිතයා සබැඳිව සහ සිදුවීම පිළිබඳ කරුණු ප්‍රමාණවත්ව සහ නිසිලෙස ඉදිරිපත් කර නොමැති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.

වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය හෙවත් බලතල පවරා තිබියදී ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීම සිදුකර නොමැති බව කොමිසමේ නිරීක්ෂණය වේ.

එබැවින් වින්දිත උපුල්දෙණිය මහතා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යස්ථාව වන, නීතිය පසිඳලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට වන වගන්තිය සහ, 13 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අත්තනෝමතිකව සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම යන කරුණුවලට අදාළව මෙම උල්ලංඝනය සිදුවී ඇති බව සඳහන්.

එවන් පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවය.

එසේම, වින්දිතයාගේ වැඩතහනම් කිරීමේ ක්‍රියාවලියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් සියලු කරුණු සලකා අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතා සම්බන්ධව සුදුසු පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ යුතු බවත් දන්වා ඇත.

2026 අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි….

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.

විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වීම සහ රජයේ ‘දූෂණ විරෝධී ජනවරම’ පාවාදීම තුළින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමිකරගෙන ඇති බව හා ඔහු දිගින්දිගටම බලශක්ති අමාත්‍ය ධුරයේ රැඳී සිටීම මහජන යහපතට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට පටහැනි බව සඳහන් කරමිනි.