වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්……

වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබේ.

මේ දිනවල ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර හෙට (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

සිය දෙදින සංචාරය අවසන් කර ටූ ලැම් ජනාධිපතිවරයා අනිද්දා (8) දිවයිනේ පිටත් යන අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නෑ -ජනපති……

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” සඳහා එක් වෙමිනි.

දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයක් වන කම්බන් උත්සවයට එක් වූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබිණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මනුෂ්‍යත්වය පෙරටුකරගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී  සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී තිබෙන බවය.

මේ රටේ සියලුම ජනතාවට එකමුතුවෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනඟා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉටුකරන මෙහෙවර අගයමින් කම්බන් සම්මානයෙන් ජනාධිපතිවරයාව පිදුම් ලැබීමද මෙහිදී සිදුකෙරිණි.

ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980දී යාපනයේ පිහිටුවන ලදී. තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමඟින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීම මෙහි අරමුණ වන අතර කලගම් සංවිධානය විසින් වාර්ෂිකව කම්බන් උළෙල සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලාංකික සමාජයේ උන්නතිය සඳහා කටයුතු කළ කීර්තිමත් පුද්ගලයින්ට වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව එහිදී ගෞරව පුද කරන අතර පෙර වසරවලදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුද්ගලයෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආණ්ඩුව අධිකරණයේ විශ්වාසය බිඳහෙළීම හෙළා දකින විමල්…..

ආණ්ඩු විසින් අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳහෙළන ආකාරයේ සිදු කළ ප්‍රකාශ තරයේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය කෙරෙහි බලවත් සැකය සහ අවිශ්වාසය ඇති කෙරෙන ප්‍රකාශ ගණනාවක් පසුගිය ජාත්‍යන්තර කම්කරු දින වේදිකාවන් තුළදී ආණ්ඩු පාර්ශ්වය සිදු කළ බවය.

ඉදිරියේදී අධිකරණය තුළින් ලැබෙන්නට ඇති තීන්දු හා ඊට අදාළ දින ද සඳහන් කරමින් එම තීන්දුව අත්පොළසන් නගා භාර ගැනීමට සූදානම් වන ලෙස රටවැසියාට ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

එමඟින් හෙළි වන්නේ, මෙරට යුක්තිය පසිඳලීමේ අධිකරණයම කාර්යය සම්පූර්ණ දේශපාලනීකරණයවී ඇති බව නොවේදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනු ලබයි.

මෙවැනි ප්‍රකාශ අධිකරණයේ ස්වාධීන බව පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නක් බව ද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පමණක් නොව, අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මෙවැනි බරපතළ ප්‍රකාශ මැයි දින රැලිවලදී ප්‍රකාශ කර ඇත.

එමඟින් මෙරට අධිකරණයේ විනිසුරුවන්ගේ භාවිතය පිළිබඳව බලවත් සැකයක් මහජනතාව තුළ මතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

2026.05

මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්….

භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබේ.

මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා සමග ලේඛකාධිකාරී හිමිවරු පැවැත්වූ සාකච්ඡාවකින් පසු මින් ඉදිරියට එය අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳ මහානායක හිමිවරුන්ද දැනුම්වත් කළ බවත් හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 22 සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මේ අතර ලේඛකාධිකාරී හිමිවරු, නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරීන් ඊයේ (29) පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී විහාර දේවාලගම් ආඥාපනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා අවදානය යොමුවූ බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පනතේ 41, 42 වගන්තිය ප්‍රකාරව මෙවැනි අවස්ථාවන්හි කටයුතු කිරීමේ බලය, මහානායක හිමිවරු ප්‍රමුඛ කරගත් මණ්ඩලයකට ලබාදීම සඳහා වැඩිදුරටත් සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි සජබය ඉරාන්ට දන්වයි…..

පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්නට මහතා වෙත අද (29) ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට වික්‍රමරත්න මහතා ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.

සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වීම ද බවත් එහි සඳහන්ය.

ඒ අනුව එසේ කටයුතු කරන ලෙසත් අදාල ලිපියෙන් ඉරාන් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.

මුදල් අස්ථානගතවීම ගැන විපක්ෂයෙන් ඉල්ලූ විවාදය, ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි…..

මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින විවාදයක් සඳහා විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“5 වෙනිදායින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෑතකදී වාර්තා වෙච්ච මුදල් අමාත්‍යාංශයේ සිදුවෙච්ච ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධව එක් දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන හැටියට විපක්ෂයෙන් අපි ඉල්ලීමක් කළා. නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කළා.”

ඉපලෝගම මාලිමා මන්ත්‍රීගෙන් අඹුසැමි යුවළකට ප්‍රහාරයක්….

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී ගයාන් අධිකාරී ඇතුළු පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙලෙස පහර කා තුවාල ලබා ඇත්තේ ඉපලෝගම, අලුත්පුලියන්කුළම, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටින අඹුසැමි යුවළක්ය.

හිරිපිටියාගම ක්‍රීඩාපිටියේ ඊයේ (25) පැවති ඉපලෝගම ප්‍රාදේශීය සභා අවුරුදු උළෙල අතරතුරදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස තමන්ට පහර දුන් බව ඔවුන් පවසති.

පහර කෑමට ලක්වූ යුවළ කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

ඉන් කාන්තාවගේ කනෙන් රුධිරය වහනය වී ඇති බවත්, ඇගේ සැමියාගේ අතෙහි සන්ධි බිදීමකට ලක්ව, හිස හා පාද ඇතුලු ස්ථාන කිහිපකයට තුවාල සිදුව ඇති බවත් ඔවුන් පවසති.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉපලෝගම පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

හැකර්වරු විද්ද මුදල ගැන අහන්න අමාත්‍යාංශ ලේකම්ට කාරක සභාවෙන් කැඳවීමක්…..

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිස හැකි ඉක්මනින් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට අදාළ පිරිස ඉක්මනින් කැඳවන්න ලෙස තමන් කමිටු සාමාජිකයින් සියලු දෙනාටම දැනුවත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස අදාළ දැනුම්දීම කමිටු සාමාජිකයින් වෙත දැන්වූ බැවින් ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පාර්ලිමේන්තුව හමුවේ අදාළ සිදුවීම සම්බන්ධව කරුණු දැක්වීමට සිදුවනු ඇති බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා,

“පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් කාරක සභාව හරහා. ඒකේ සභාපති හැටියට මම අපේ කමිටුවේ සියලුම සාමාජිකයින්ට කතා කරලා තියෙන්නේ… මොවුන්ව හැකි ඉක්මනට පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ අයට විස්තර කරන්න වෙයි පාර්ලිමේන්තුවට. හුදෙක්ම මේක කාර්යාලයීය වැඩක් නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට තිබෙන වගකීමක්, ව්‍යවස්ථාවෙන්ම දීලා තිබෙන වගකීමක්.  ඒ නිසා මම කමිටුවේ සාමාජිකයින් එක්ක කතා කරලා මේක කරන්න බලාපොරොත්තු වෙනවා.” 

හැකර්වරුන් ගත්ත රජයේ ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් විධිමත් ප්‍රකාශයක් නෑ – විපක්ෂනායක…..

හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වූ ඩොලර් ලක්ෂ 25ක මුදල ගැන තවමත් රජය විසින් විධිමත් ප්‍රකාශයක් සිදුකර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

විපක්ෂනායකවරයා චෝදනා කරනුයේ රටට අහිමිවූ ඩොලර් ලක්ෂ 25 සම්බන්ධව විධිමත් පැහැදිළි කිරීමක් නොමැති බවත් රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එක් කතාවක්ද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා තවත් විග්‍රහයක්ද සිදුකරමින් පවතින බවද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

එබැවින් සිදුව ඇති මෙම තත්ත්වය සම්බන්ධව මෙරට ජනතාවට නිවැරදි සත්‍යවාදී තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා පැවසුවේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අයිතියක්ද ඇති බවය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන පරිදි ජනවාරි මාසයේදී මෙම ගැටලුව හඳුනාගෙන මාස කිහිපයක් මෙහි රහස්‍යභාවය රැකගෙන පරීක්ෂණ විධිමත්ව සිදුකළ බව පැවසූ නමත් අදාළ ගැටලුව ජනවාරි මස හඳුනා ගත්තේ නම් මේ සඳහා පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටුව පත් කිරීමට මාර්තු මාසය දක්වා කල් ගනු ලැබුවේ කුමණ හේතුවක් මතද යන්න ගැටලු සහගත බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා මෙම තොරතුරු හෙළිදරව් වන තෙක් මුදල් පිළිබඳ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට මෙම සොරකම සම්බන්ධව දැනුවත් නොකළේ කුමණ හේතුවක් මත යන්න බරපතළ ගැටලුවක් බවද සඳහන් කළේය.

එමෙන්ම අනිල් ජයන්ත නියෝජ්‍ය ඇමතිවරයා විසින් මෙවැනි සිදුවීමක් ඉන්දියාවත් සමග ගනුදෙනුවකදී සිදුවූ බවට ප්‍රකාශ කර තිබෙන බවත් මෙම ප්‍රකාශයේ සත්‍යතාව රජය විසින් වහාම පැහැදිළි කළ යුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

තවද ඔස්ට්‍රේලියානු රජය සමග සිදුවූ ගනුදෙනුව සේම ඉන්දියාව සමග සිදුවූ ගනුදෙනුවේද මුදල් අහිමි වී ඇත්නම් සත්‍ය රටට පැහැදිළි කළ යුතු බවත් මාස ගණනක් මෙම කරුණ සඟවා තැබුවේ කුමණ හේතුවක් මතද යන්න ගැටලු සහගත බවත් එය ඉතා බරපතළ ක්‍රියාවක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්….

මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම හරහා සිදු වූ වංචාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය සංවිධානය විසින් අදාළ සිදුවීම පිළිබද තොරතුරු හෙළි නොකළේ නම් ආණ්ඩුව එය තවදුරටත් වසන් කරමින් සිටින බවය.

මහ භාණ්ඩාගාරය විසින් විදේශ ණයක් පියවීම සඳහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ පාර්ශවය වෙත ලැබී නොමැති බවත් එම මුදල් පරිගණක හැකර්වරයෙකු හෝ තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් ඊයේ (22) අනාවරණ කළේය.

“මේ හොරකම සිද්ධ වුණාට පස්සේ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයා වගකියන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනේ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියපේරුම මහතා ඔස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. එතකොට එතුමත් මේකට සම්බන්ධ ද  කියලා යම් කිසිම සැකයක් මතු වෙනවා. ඒ සැකය මතුවෙනකොට ඒ පුද්ගලයා ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන් ද? මොකක්ද මේකේ තියෙන සාධාරණය. මම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කියනවා පළවෙනියෙන් ඔබතුමාත් අයින් වෙන්න ඕනේ. ලේකම්වවත් අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැන හොයන්න. ඔස්ට්‍රේලියාවට මුදල් ගියා කියන එක ඒ අය පිළිඅරන් තියෙනවා. එතොකට මෙවැනි සිද්ධි ගැන නිකරුණේ අමතක කරලා දාන්න ඉඩ දෙන්න බෑ. 

මේ රජය මේ රටේ ජනතාව රවට්ටලා තියෙන්නේ. සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙනවා. අපේ සංවිධානය විසින් මේක හෙළිදරව් කරනකම් මේක එළියට ආවේ නැහැ. මේගොල්ලොන්ට මේක කිසිසේත්ම මහජනතාව ඉදිරියට ගෙනියන්න නෑ. ඒ අවශ්‍යතාව තිබුණේ නැහැ. මේක හංගලා සම්පූර්ණයෙන්ම අමතක කරලා වළ දාන්න තමයි මේ ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියේ. බලන්න මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ඇස්වහලා ක්‍රියාකරන්න හදන ආකාරය ගැන. නිලධාරින් පැහැදිලිවම නොසැලකිලිව කටයුතු කරලා තියෙනවා කියන එක අපි පැහැදිලි කරන්න ඕනේ.”

අදාළ කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුව හරහා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිඛිතව ලිපියක් යොමුකරමින් දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, සයිබර් හැකර්වරුන් සිදුකළ අදාළ සොරකම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කරන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර මූලික පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් කිහිපදෙනෙකුට  විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.