මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දැමේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා දක්වා දිනයන්වල පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ වසා දැමීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.

කළුතර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නව ලංකා නිදහස් පක්ෂය ගොනුකර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් මාර්තු 23 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද (16) මැතිවරණ කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

9225dd66f2a05d694458ff8326e7d13b

සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 1.1ක තොරතුරු සත්‍යාපන කටයුතු අවසන් – මුදල් රාජ්‍ය ඇමති

සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත්වල තොරතුරු සත්‍යාපනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334 කින් ලද සුබසාධක ප්‍රතිලාභ අයදුම්පත් මිලියන 3.7න් මිලියන 1.1 ක තොරතුරු සත්‍යාපනය අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ.

තොරතුරු සමීක්ෂණය මාර්තු 31 අවසන් වන බැවින් එදිනට පෙර නිවැරදි තොරතුරු ලබාදෙන ලෙසත්, එසේ නොවුණහොත් සුබසාධක ප්‍රතිලාභ අහිමි වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොග්ගලදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියක, කොග්ගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොග්ගල පොහොර ගබඩාව අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

වන්දනා ගමන් යන පිරිස් වෙත සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙක් රෝගීවී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරුවී නොමැති වුවත් රෝග ලක්ෂණ අනුව ආහාර විෂවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවට සැක කෙරෙන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන් හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබා ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් කලබල වියයුතු නොමැති බවත් යම් අවධානමක් ඇත්නම් මහජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

2022 වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රු.346 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු329.02ක් ලෙස හා විකුණුම් මිල රු.346.33ක් ලෙසයි අද (16) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

වෘත්තියවේදීන්ගේ එකමුතුව අද සාකච්ඡාවක් කැඳවයි

ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වෘත්තියවේදීන්ගේ එකමුතුව අද රැස්වන බව එම එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහිදී රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සහ ජනාධිපතිවරයා සමඟ ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදු කරන කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

SLvsNZ : දෙවන ටෙස්ට් තරගය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30 ට Wellington හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය තියුණු තරගයකින් පසු කඩුලු දෙකකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.