විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය 9 වන දිනටත් පැවැත්වෙයි

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (17) නවවන දිනටත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලබාදුන් ප්‍රතිචාර පිළිගත නොහැකි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.

ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෛත්‍රීගේ පෙත්සම විභාගයට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා යලි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ඩොලරයේ විකුණුම් මිල රු.350 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) නැවතත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු332.20ක් ලෙස හා විකුණුම් මිල රු.350.22ක් ලෙසයි අද (17) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

SLvsNZ : පළමු දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව – 155/2

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටිනවා.

අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

එදා විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කරන්න ඉඩ දුන්නා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ – මහ බැංකු අධිපති

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව ලැබිය යුතු බව මේ වන විට ප්‍රයෝගිකව ඔප්පු වී ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බව දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ දේශපාලනඥයින් නොවන බවද, එම තීරණය ජනතාව විසින් පත් කළ පිරිස් ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට ගැනීමට සිදුවන්නේ නිවැරදි තීරණය නොව ජනප්‍රිය තීරණය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

2020 / 2021 වසරවල රජයේ බලපෑම මත බිලියන 6 ක සංචිතයන් බින්දුවට වැටෙන තෙක් විනිමය අනුපාතිකය රු. 203 අගයක පවත්වාගෙන ගිය බවද, පසුව එය අතහැර දැමූ බවද, ඉන් පසු මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සියලුදෙනාට දැකගත හැකිවූ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

එහිදී ද විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට කටයුතු කළේ නම් රට අද මෙවැනි තත්ත්වයකට පත් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

comment loading imageමහජන ප්‍රතිචාර

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව මාර්තු 21 වනදා සිට 24 වනදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව 21 වනදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පා ගමනක් සංවිධානය කර තිබූ බවත්, නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලීසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවත්, ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා යලි කැඳවන ලෙසද නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පාපන්දු අත්හිටුවීමට රටවල් 197 ක් සහාය දෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබෙනවා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

2023 ජනවාරි මාසයේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීම හරහා ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තිය කැඩූ බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී තිබුණා.

එසේම සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාවටද ඡන්ද 199 ක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

පොලීසිය විසින් මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සමහර පොලිස් ස්ථානවලින් සාම්පල 20 ක 30 ක පමණ ප්‍රමාණයක් කුඩු බවට පවසා අධිකරණයට ඉදිරිපත් කරන බවත් රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු ඒවා කුඩු නොවන බවට අනාවරණය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින නීතිය අවභාවිතාවට ලක්වන බවත් නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතු බවයි බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

SLvsNZ : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අද දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර මීට සුළු මොහොතකට පෙර කාසියේ වාසිය උරගා බැලීම සිදුකර තිබුණා.

ඒ අනුව දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිෂාන් මදුෂ්ක කණ්ඩායමට කැඳවා ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ Wagner ආබාධයකට ලක්වීම හේතුවෙන් Doug Bracewell කණ්ඩායමට එක්ව තිබෙනවා.