මැතිවරණ කොමිසම අද රැස්වෙයි

මැතිවරණ කොමිසම අද (16) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් නොකිරීම හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දී තිබූ අතර මුදල් අමාත්‍ය ලේකම්වරයා විසින් එම ලිපිය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනපතිගෙන් ණය හිමියන්ට සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා. විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය අවසන් වෙයි

අද (16) දිනයේ පාසල් සඳහා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඊයේ (15) වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන බැවින් අද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට නියමිතයි

චීන රජයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පරිත්‍යාගයක්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිදුවී තිබෙනවා.

එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද වර්ජනයට එක් නොවූවන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

අද (15) දිනයේ ක්‍රියාත්මකවූ වැඩ වර්ජනය සඳහා ඇතැම් වෘත්තීය සමිති සහයෝගය නොදක්වා සේවයට වාර්තා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජනාධිපති මාධ්‍ය අංශයට තහවුරු කර තිබෙනවා.

එසේම සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් අද උදෑසන සූදානම් කර තිබූ බවට PSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී තිබෙනවා.

ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 330 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බැංකු සභාපතිවරුන් තහවුරු කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අද පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක අතර ලංගම වෘත්තීය සමිති 08 න් එක් වෘත්තීය සමිතියක් හැර අනෙක් වෘත්තීය සමිති 7 ම සහයෝගයෙන් කටයුතු කළ බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වට්ටන්න බැහැ – එස්.එම්. චන්ද්‍රසේන

වර්ජනවලින් වත්මන් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන පවසනවා.

ඒ අනුව අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අරගලයෙන් සිදු කිරීමට නොහැකි වූ දෙය වර්ජනය හරහා සිදු කිරීමට උත්සාහ කරන බවයි.

වර්ජකයන් විසින් මේ අවස්ථාවේ සිදු කරන්නේ හෙන ගසන අපරාධයක් බවත් ජනතාව විසින් වර්ජකයන්ට ඒ සඳහා පාඩමක් උගන්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බැංකු සේවකයන් වර්ජනයට එක්වෙයි

අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන් ඇතුළු බැංකු සේවකයන් සේවාවලින් ඉවත්ව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ප්‍රදේශ රැසක පිහිටි බැංකු බොහෝමයක කටයුතු සිදු නොකෙරෙන බවයි සඳහන් වන්නේ.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් මෙම වැඩ වර්ජනය අද (15) ක්‍රියාත්මක වනවා.

කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ලංකා බැංකු ශාඛා 265 ක් හා මහජන බැංකු ශාඛා 272 ක් විවෘත කර සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යන බවට එම බංකු සභාපතිවරුන් තහවුරු කළ බවයි.

ඩොලරයේ විකුණුම් මිල රු.344 දක්වා වැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.327.59ක් ලෙස හා විකුණුම් මිල රු.344.66ක් ලෙසයි අද (15) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

දුම්රිය වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි

දුම්රිය රියදුරු වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

ඒ අනුව අද (15) උදෑසන වන විට කාර්යාල දුම්රිය 20 ක් පමණක් ධාවනය කර ඇති අතර දුම්රිය ගමන්වාර රැසක් අවලංගුවී ඇති බවයි සඳහන් වන්නේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගී ජනතාව සඳහන් කරන්නේ, දුම්රිය නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20 ක් ධාවනය කර ඇති බවයි.

රෝහල් වැඩ වර්ජනය ආරම්භ වෙයි

දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි මේ වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩ වර්ජනය ආරම්භවී තිබෙනවා.

මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද හෙදියන් ඇතුළු රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයද එක්ව ඇති බවයි සඳහන් වන්නේ.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාත ඉහළ දැමීම, විදුලිබිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් මෙම එක්දින වැඩ වර්ජනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.