අද ඩොලරයේ විකුණුම් මිල රු.318 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (14) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් ලෙස හා විකුණුම් මිල රු. 318.99 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැලඳුනු ළමුන් 35 ක් ප්‍රතිකාර ලබයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35 ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.
ඒ අනුව දිනකට රෝගීන් 3-4 ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණෙන බවත්, රක්තපාත තත්ත්වයට පත්ව ඇති රෝගීන් 7 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් තම නිවෙස් පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, නිවිතිගල, කළවාන, ඇහැළියගොඩ සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා ද ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහාද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර අදාළ වෙන්දේසිය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලාංකීය මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගනී

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා.
පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී ManKiwwa වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.
ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා.

Cricket World Cup Qualifier Warm-up: ශ්‍රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.

මියගිය වෛද්‍යවරයෙකුගේ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවෙයි

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී හමුවී ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අවිවාහක වෛද්‍යවරයෙක් බවයි සඳහන් වන්නේ.

LPL ක්‍රීඩක වෙන්දේසිය හෙට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය හෙට (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර අදාළ වෙන්දේසිය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.
වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීම සිදුවන අතර ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ද සිව් දෙනෙකු ඇතුළත් විය යුතු වනවා.
එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කළ හැකියාව පවතිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

648845cc6bf5c

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරේ

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.309 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.294.91 ක් ලෙස හා විකුණුම් මිල රු.309.22 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.