ජනපති ලබන සතියේ එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිතයි – බන්දුල ගුණවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව එම සංචාරයේදී පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාන් ආඥා පනත අවලංගු කෙරේ

පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන බැවින් මෙලෙස එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බවට හඳුනාගෙන ඇති බවයි එම කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විවිධ කමිටු විසින් ලබාදුන් නිර්දේශ අනුව මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතීන් ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් අනුමැතිය ලබාදී ඇති බවත්, විටින් විට මැතිවරණ නීති සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හඳුන්වා දී එයට මෙම සංශෝධන සියල්ල ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව කෙටුම්පතක් සකස් කරන නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දික්වැල්ලේදී සිදුක​ළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

දික්වැල්ල, ‍දෙමටපිටිය, කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද (13) උදෑසන 07.10 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (13) උදෑසන 10.00 සිට හෙට (14) උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලටයි.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, යටියන්තොට ප්‍රදේශ සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල හා කලවාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, අයගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහාද අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙසට අනතුරු අඟවා ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

Cricket World Cup Qualifier Warm-up: ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතයි.

තරගයේ සජීවී තොරතුරු එසැණ හරහා ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගනියි

2021- 2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (11) සමත් වුණා.
ඒ අනුව ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම ශූරතාව දිනාගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 469 ක් රැස් කළා.
ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 296 ක් පමණයි.
යළිත් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් ලබා ගත් අතර ඉන් පසු පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.
ඒ අනුව 2021- 2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල වර්ධනයක් තිබෙනවා – මහ බැංකු​ව

2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1335.6 ක් වන අතර එය 2023 හා සංසන්දනය කිරීමේදී 75.7% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
එසේම 2023 මැයි මාසයේදී මෙරටට ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 497.7 ක් වන අතර එය 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 57.7% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.303.73 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා විකුණුම් මිල රු.303.73 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.