මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයා එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක තිබියදී අදාළ කුඩා දරුවාගේ මළසිරුර පසුගිය 08 වනදා සවස මුල්ලේරියාව පොලීසිය සොයාගත් අතර පසුව ඒ සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුල්ලේරියාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදය අද සිට ඇරඹේ

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර පහතින්.

* අයදුම්කරු විසින් https://www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි.

* කඩිනම් ක්‍රමය හෝ සාමාන්‍ය ක්‍රමය තෝරාගත යුතුයි.

* අයදුම්පත සම්පූර්ණ කර අදාළ අවශ්‍ය ලේඛණ සමඟ Upload කළ යුතුයි.

* ඡායාරූපය ලබා ගැනීමේදී ලබාදෙන අනුක්‍රමික අංකය ඇතුළත් කර අදාළ පියවරයන් අවසන් කළ යුතුයි.

* Online ගෙවීමේ පහසුකම්ද එහි සලසා ඇති අතර Online ගෙවීම් සිදු කිරීමට අපහසු පුද්ගලයින් සඳහා ඇඟිලි සලකුණු ලබාදීමේ කටයුතුවලින් පසු ලබාදෙන රිසිට් පත ඉදිරිපත් කර ලංකා බැංකුවට ගොස් ගෙවීම් සිදුකළ හැකියි.

* ඇඟිලි සලකුණු ලබාදීමේ පහසුකම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක ස්ථාපිත කර ඇති අතර  එම පහසුකම ඇති තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් ඇඟිලි සලකුණු ලබාදිය හැකියි.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 1500 ක දුම්වැටි තොගයක් විනාශ කෙරේ

2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 1500 ක වටිනාකමින් යුත් දුම්වැටි කෝටි 20ක ප්‍රමාණයක් කෙරවලපිටිය කසල අංගන පරිශ්‍රයේදී විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, රේගුව විසින් මෙම මෙහෙයුම සිදු නොකළා නම් අහිමි වන රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1300ක් පමණ වන බවයි.

මේවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීමක් කිසිවෙකුත් නොගන්නා හෙයින් මේවා අලෙවි කිරීමට නොහැකි බවත් මෙම දුම්වැටි තොගය විනාශ කිරීම සඳහා සිගරට් එකකට රු 2ක් මුදලක් එනම් කෝටි 40 ක මුදලක් ශ්‍රී ලංකා දුම්කොල සමාගමෙන් අයකරගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම දුම්වැටි මෙරටට ගෙන්වන ලද ආයතන 03 කට ද ලක්ෂ 25ක දඩයක් පනවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 311.60 ක් ලෙස හා විකුණුම් මිල රු. 328.92 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

අර්ධ කාලීන රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සෑදීමට අවධානය

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සඳහා මේ වන විට යෝජනාවලියක් සකස් කර ඇති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රැකියා ස්ථානයේ සියලු හිංසාකිරීම් හා ලිංගික හිංසනය ඇති කිරීමට විරුද්ධව අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සේවකයින්ගේ කැමැත්ත අනුව දින 5 ක සතියක් හා නම්‍යශීලි වැඩ කරන වේලාවක් හඳුන්වා දෙන අතර අර්ධ කාලීන රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සෑදීමටද කටයුතු කිරීමට නියමිතයි.

කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කරන අතර පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට කටයුතු කරන බවයි කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

වාහන ආනයනයට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි ඉල්ලා සිටිනවා.

ඩොලර් වැයවීමකින් තොරව ජපානයෙන් වාහන ආනයනය කිරීමට තම සංගමයට හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ජපානයෙන් ණය ලබාගෙන වාහන ආනයනය කිරීමට හැකි බවත් අලුත් වාහනයක් සඳහා 70%ක් අඩුවෙන් ගෙවීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන අතර ඒ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුම්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබෙනවා.
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ, ජුනි මස 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

648986690c8d0pdf_page_0