හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පෙරවරු 8.00 සිට 20 වන ඉරිදා අලුයම 02.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටයි.

වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළි‍වෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Asia Cup 2023 : ඉන්දු – පාකිස්තාන තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍ර අවසන් වෙයි

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ප්‍රවේශ පත්‍ර ඊයේ (17) නිකුක් කර තිබුණා.

පළමු අදියරේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ මේ වන විට එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍රද සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී ඇති අතර එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව තිබෙනවා.

මෙම තරඟ දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

නිශ්චිත වැටුප් ලබන පිරිස් පෙලෙන අසීරුතාවන් රජය තේරුම්ගෙන තිබෙනවා – රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය සේවක ඇතුළු නිශ්චිත වැටුප් ලබන සියලු දෙනා සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

බඩු මිල, පොලී අනුපාත සහ බදු වැඩිවීම්වලදී නිශ්චිත ආදායමක් ලබන පිරිස් අසීරුතාවන්වලට පත්වන බවත් රජය ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව රජයට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

බඩඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළට

බඩඉරිඟු මත පනවා තිබූ ආනයන බද්ද පහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද රුපියල් 25 දක්වා අඩු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

පොහොට්ටුවේ නියෝජිතයින් සහ ජනපති අතර හදිසි හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව අද (18) පෙරවරු 11.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටින අතර පළාත් පාලන මැතිවරණය කල්යාම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් තම සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

නිසි අවසරයකින් තොර​ව ගුරුවරුන් 5000 කට වැඩි පිරිසක් රටින් පිටව ගිහින් – ජෝසප් ස්ටාලින්

නිසි අවසරයකින් තොරව ගුරුවරුන් 5000 කට වැඩි පිරිසක් රටින් පිටව ගොස් ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, අධ්‍යාපන පද්ධතිය තුළ 40,000 කට වැඩි ගුරු හිඟයක් පවතින බවයි.

රාජ්‍ය සේවකයන්ට වසර 5 ක කාලයක් නිවාඩු රැගෙන දේශීයව හෝ විදේශියව රැකියාවට යා හැකි බවට රජය තීරණයක් ගෙන තිබූ බවත් මෙය උපයෝගී කර ගනිමින් ගුරුවරුන් විදෙස්ගතව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින බුද්ධි ගලනය ඇති කරන ලද්දේ ආණ්ඩුව විසින් බවත් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පළාත් සභා තුළට බලය ලබාදීම මඟින් පළපුරුදු ගුරුවරුන් ලැබේද යන්න ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ.

වියළි කාලගුණයෙන් කුඹුරු අක්කර 39,000 ක් පම​ණ විනාශයට පත්වෙලා – කෘෂිකර්ම ඇමති

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ කුඹුරු අක්කර 39,000 ක් පමණ විනාශයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ සමීක්ෂණය අවසන් වූ පසු විනාශ වූ ප්‍රමාණය කුඹුරු අක්කර 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඉතිහාසයේ වන්දි මුදල් ගෙවීමට සිදුවන වැඩිම ප්‍රමාණය මෙය වනු ඇති බවත් ඒ සඳහා මුදල් සොයාගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නැවත ජනතාව ගොවිතැන් සඳහා යොමු කිරීමට සහනයක් ලබාදිය යුතු බවත් මුදල් සොයා ගැනීම අභියෝගයක් වුවද ජනාධිපතිවරයාද මේ සඳහා එකඟතාව පළකර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂිකයි – හෝටල් සේවකයින්

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ අතිශය අමානුෂික බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරි පවසනවා.

ඒ අනුව අර්ධ කාලීන ලෙස සේවකයින් බඳවාගැනීමේ හැකියාවක් යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ මගින් කාර්යබහුල වෙලාවන්හිදී පමණක් පැය 03කට සේවකයින් බඳවා ගැනීමට හෝටල් පාලකයින්ට අයිතිය ලැබෙන බවත් මේ තුළින් පැය 8 කට ගෙවීමක් සිදු කිරීම සහ අතිකාල දීමනා ගෙවීමට හෝටල් පාලකයින්ට අවශ්‍ය නොවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

O/L පළමු අදියරේ ඇගයීම් කටයුතු අද ආරම්භ වෙයි

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර අද (18) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පළමු අදියරේ ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිත බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් සඳහන් කළේ.