පාන් මිල අඩු කිරීම ගැන තීරණය හෙට

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

එහෙත් පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද, ඒ හේතුවෙන් හෙට දිනයේ තවත් සාකච්ඡාවක් පවත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩකයින් ප්‍රංශය බලා පිටත්වෙයි

ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) ප්‍රංශය වෙත පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වන මළළ ක්‍රීඩකයින් තිදෙනකු, පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද, නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමය සඳහන් කරනවා.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එයින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

කැබිනට්ටුව කුමන තීරණයක් ගත්තත්, නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කරන්න බැහැ – සාලිය පීරිස්

අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන්ට නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන බවත්, කැබිනට් තීරණ මගින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැකි බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.-නාමල් රාජපක්ෂ ….

අගමැතිකම දෙන්න නම් පක්ෂය එක්ක මිසක් මාත් එක්ක කතා කරලා වැඩක් නෑ.පක්ෂය තීන්දු කරන කෙනා තමයි අපේක්ශකයා නාමල් රාජපක්ෂ අද දින පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ විජේරාම නිලනිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය මගින් මතුකල ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
අද දින මැතිවරණ කමිටු පිහිටු වීම , කාර්යාල දැමීම , කැන්වසින් යාමට පටන් ගැනීම වැනි දෑ ගැන සාකච්ඡා කලා. අද දින පොහොට්ටුවේ අපේක්ෂකයා පිලිබඳව සාකච්ඡා කලේ නැහැ. ඒ පිලිබඳව සාකච්ඡා කල යුතු වන්නේ දේශපාලන මණ්ඩලයයි. මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කලාට පසු අපිට ගැලපෙන රටට ගැලපෙන අපේක්ෂකයකු අපි තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනෙක් විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුල අපේ පක්ෂයට තිබෙන නැන පිලිබඳව අපි තීරණය කල යුතු වෙනවා. අපි එල්ලිලා දේශපාලනය කරන්න කැමති නැහැ.
වර්ථමාන ජනාධිපතිතුමා ගැන සමහරු ඉරක් ඇදගෙන ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා එක්ක ගමන යනවා. අපි තීන්දු ගන්නේ පක්ෂයක් විදිහට මිසක් පෞද්ගලිකව නොවෙයි. ඒ නිසා අපි පෞද්ගලිකව ඉරි ඇදගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නවා. අපි හිතනවා ඒ අවස්ථාවේ දී පක්ෂය අපි වෙනුවෙන් හිට ගනී කියලා.
ජනාධිපතිතුමා සමඟ තිබුණ ආණ්ඩු පක්ෂයේ රැස්වීමට මම සහභාගී වුනේ නැහැ. කමිටු පත් කරනවා . අද නැහැ කියනවා. හෙට නැහැ කියනවා. ජනාධිපතිවරණ ගැසට්ටුව අද ගහනවා. හෙට ගහනවා කියලා කියනවා. ලබන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරවනවා කියලා ප්‍රචාරයක් යනවා . ඒ වගේ කටකතා ප්‍රචාරය වෙනවා. අපි කටකතා විශ්වාස කල යුතු නැහැ. අපි විශ්වාස කල යුතු වන්නේ මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයයි. ඉදිරියට ඒමට නියමිත වන්නේ ජනාධිපතිවරණයයි. අපි ඒකට සූදානම් විය යුතුයි.

ප්‍රශ්ණය – නාමල් මන්ත්‍රීතුමනි , ඔබතුමාට අගමැතිකම දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කථා කලාද ?

පිලිතුර – අගමැතිකම දෙන්න පුද්ගලයින්ට කථා කරලා වැඩක් නැහැ. ඒකට පක්ෂය සමඟ තමයි කථා කරන්න ඕනේ. පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත් කර ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කල යුතු වෙනවා. මම පැහැදිලිව කියනවා මම පුද්ගලයින් හම්බ වෙලා සාකච්ඡා කරන්නේ නැහැ. මගේ පියා මට උගන්වලා තියන දේශපාලන තමයි පක්ෂ එක්ක සාකච්ඡා කරන්න කියලා . මම අදටත් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියයි. ඒ නිසා අපි සාකච්ඡා කරනවානම් පක්ෂ සමඟ තමයි සාකච්ඡා කරන්නේ. පුද්ගලයින් හමුවෙලා අපි දේශපාලන තීන්දු තීරණ ගන්නේ නැහැ. .

ප්‍රශ්ණය – ඔබතුමාට අගමැතිකම දුන්නොත් භාර ගැනීමට සූදානම් ද ?
පිලිතුර – අපි එලියෙන් අපේක්ෂයකු ගේනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයෙන් අපේක්ෂයකු ඉදිරිපත් කරනවා නම් දේශපාලන මණ්ඩලය එම තීන්දු තීරණ ගනීවි. එම තීන්දු තීරණ පුද්ලගලයන් ගත යුතු නොවෙයි.

අපේක්ෂයකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුනගේ බෙදීම මම දන්නේ නැහැ. නමුත් අපේක්ෂකයෝ වැඩි නිසා මත බොහෝමයක් තිබෙනවා. කලින් එක්කෙනෙක්වත් නැහැ කියලා කිව්වේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා. ධම්මික පෙරේරා මහතාත් අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම කැබිනට් එකේ අය ඉන්නවා . ව්‍යවසායකයොත් ඉන්නවා. මේ කැබිනට් එකේ ජනාධිපතිතුමා සමඟ තව එක්කෙනෙක් ඉන්නවා.

අපි ගන්න ඕනේ රනිල් මහත්තයාට හොද තීන්දුවවත් නාමල් රාජපක්ෂට හොද තීන්දුවවත් නොවෙයි. අපේ පක්ෂය ආරක්ෂා කිරීම වගේම , අපේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම වගේම රටට හොද තීන්දුව තමයි අපි ගත යුත්තේ . අපි නැකත බලලා අපේ අපේක්ෂකයා ගැන කියන්නම්.

සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නිර්මාණයක් වූ සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ ඉසුරු ෂාන් බාලසූරිය නමැත්තා දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

යලිත් අධිකරණයට කැඳවූ ඔහු අද දින (ජුලි 24) පැවති විභාගයකින් පසුව තව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ලබන අගෝස්තු 7වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිත් මෙම නඩුව විභාග කිරීමට නියමිතය.

කොළඹ බන්දුල රූපසිංහ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

එක් සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.

එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.