විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කෙරේ

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සුදේශ නන්දිමාල් ද සිල්වා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරසිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍යයක් – සාලිය පීරිස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයට යටත් නොවන බවට රජය කරන ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ දිගුවක් බවට කරන ප්‍රකාශයද සත්‍යයක් නොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සිටි පමණින් එය පාර්ලිමේන්තුවේ දිගුවක් වන්නේ නැති බවත්, එය විධායක කාර්යයක් ඉටු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරන බවත්, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා පුද්ගලයෙකු නම් කරන්නේ ජනාධිපතිවරයා වන අතර, ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරන බව ඔහු පෙන්වා දෙනවා.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන ගැටලුවේදී, එම පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොතිබීම වටා කරුණු ගොනුව තිබෙන බවත්, ජනාධිපතිවරයාගේ පත්වීම් බලතල සහ යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර අනෙකුත් සියලුම බලතල පාර්ලිමේන්තුව විසින්ම සම්මත කරන ලද 19 වැනි සංශෝධනයෙන් පසු මූලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත් වන බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද ඇත්තේ නීතියෙන් සපයා ඇති ප්‍රමාණයට පමණක් බවත්, නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මුක්තිය ලබා දීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් කිරීම හෝ සිදු නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය විධායකය විසින් අධිකරණ තීන්දුවකට අවනත නොවීම සඳහා දරණ පිළිකුල් සහගත උත්සාහයක් සහ අධිකරණය මඟින් තහනම් නියෝග පනවා ඇති පුද්ගලයෙකු තනතුරේ එල්ලී සිටීමට දරණ උත්සාහයක් බවයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පාන් මිල රු.10 කින් අඩු කෙරේ

පාන් ගෙඩියක මිල රු.10 කින් අඩු කිරිමට සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

Womens Asia Cup 2024: ශ්‍රී ලංකා – පාකිස්ථාන අවසන් පූර්ව තරගය අද

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තරගය අද (26) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අද රාත්‍රී 7.00 ට මෙම අවසන් පූර්ව වටයේ තරගය පැවැත්වීමට නියමිතයි.

පැරිස් ඔලිම්පික් උළෙල අද ඇරඹේ

33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) ආරම්භ වනවා.

අද සිට අගෝස්තු 11 වනදා දක්වා පැරිස් හා ප්‍රධාන නගර 16 ක් කේන්ද්‍ර කරගනිමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි.

රටවල් 206 ක් නියෝජනය කරමින්, ක්‍රීඩා ඉසව් 32 ක් වෙනුවෙන් මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,714ක් තරගාවලියට එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 ක් සහභාගි වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 වර්ෂයට අදාළ ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැම්පත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේම අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000 ක් තැම්පත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66a30d58dfc94pdf_page_0

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66a30552e83b1pdf_page_0

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්

24-07-25
කැකිරාව කුෂාන් ජයවර්ධන

විභාග වෙමින් පැවැති නඩුවකට අදාළ නඩු භාණ්ඩ වලට හානි කළ නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් නඩුවක්
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවේ ගොනුකර විභාග වෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩවලට හානි සිදු කළ බව කියන නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.
නීතීඥවරුන් දෙදෙනෙකුට එරෙහිව වූ එම නඩුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි මහතා විසින් අධීකරණය හමුවේ ගොනු කර තිබේ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අප කළ විමසීකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ මෙලෙස නඩු පවරා ඇත්තේ එම කාර්යාලය මඟින් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ ගොනු කර විභාග වෙමින් පැවැති නඩුවක විත්ති පාර්ශවයේ ව්‍යාපාරිකයකු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥයින් දෙදෙනෙකුට එරෙහිව බවයි.
ඉකුත් දා කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදු කළ වැටලීමකදී කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී වස යෙදූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා පාන් පිටි තොගයක් ඇතුලු ආහාර ද්‍රව්‍ය තොගයක් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය මඟින් ඒ සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකර තිබිණ. ඒ අනුව, අදාළ සිද්දිය සම්බන්ධයෙන් කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයේ දී අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවැරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් පියවර ගෙන තිබිණ.
අදාළ නඩුව අධීකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තුරදී එකී නඩුවේ විත්තිකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දෙදෙනෙකු එම නඩුවට අදාළ නඩු භාණ්ඩවලට හානී කර තිබූ බව ද, එලෙස නඩු භාණ්ඩවලට හානි කිරීමේ චෝදනා යටතේ අදාළ නීතීඥවරුන් දෙදෙනාට එරෙහිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
නඩු භාන්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මෙලෙස අධීකරණය හමුවේ නඩු පවරා ඇති නීතිඥයින් කැකිරාව හා මහනුවර ප්‍රෙද්ශයන්හි පදිංචි කරුවෝ වෙති.

22 වන සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ගාමිණී වලේබොඩ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ඒ අනුව හෙටට එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර දින 7 ක් සම්පූර්ණ වන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඉන්පසු සති කිහිපයක අධිකරණ කටයුතුවලින් අනතුරුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කර ගැනීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.

මේ සඳහා තමන්ටද ඡන්දය ලබාදීමට සිදුවන බවත්, පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනමත විචාරණයකටද යා යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ඔහු සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි එම X සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ X පණිවිඩය පහතින්.

66a1e17b55310