තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්….

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඉතිහාසගත වූ පොලිස් මෙහෙයුම ගැන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්…..

ඉන්දුනීසියාවේ දී සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු එක්වර අත්අඩංගුවට ගැනීම ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාව වන බව පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) උදෑසන පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගත් පස්දෙනෙකුට දැනට ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති අය බවය.

ශ්‍රී ලංකාවේ පොලීසියේ සම්බන්ධීකරණයෙන් හා ජාත්‍යන්තර පොලීසියේ සහායෙන් ඉන්දුනීසියානු පොලීසිය මඟින් අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර ඇති බව ද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

මේ අතර, සංවිධානාත්මක අපරාධවලට මෙරට දේශපාලනය සම්බන්ධ වූ ඉතිහාසයක් පැවති බව ද කියා සිටි පොලිස්පතිවරයා, වර්තමානයේ එම පරිසරය වෙනස් වී අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නොමැති පරිසරයක් බිහිවෙමින් පවතින බව ද කියා සිටියේය.

බොහෝ අවස්ථාවලදී විදෙස් රටවල සිට මෙරට අපරාධ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙය වන බවත්, වර්තමානයේ එවැනි පිරිස් පිළිබඳව නීතිමය තීරණ ගැනීමට දේශපාලන බලපෑමකින් තොරව පොලීසියට උපදෙස් ලැබී ඇතැයි ද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ඩුබායි, ඕමානය, රුසියාව, බෙලරූසය, ප්‍රංශය වැනි රටවල ද සංවිධානාත්මක අපරාධකරුවන් පැතිරී සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද ඉක්මනින්ම තීරණයක් ගන්නා බවත් පැවසු පොලිස්පතිවරයා, මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට සහාය දැක්වූ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට විශේෂ ස්තූතිය පිරිනමන බව ද කියා සිටියේය.

ඉන්දුනීසියාවේදී කොටු වූ අපරාධ කල්ලි නායකයින්ට ඇති චෝදනා…..

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ  ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

එහිදී කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට පත්විය.

පොලීසිය පැවසුවේ, ඔවුන් සමග සිටි බැකෝ සමන්ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තුන් හැවිරිදි දරුවා පොලිස් භාරයට ගත්බවය.

අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පසුගිය පෙබරවාරි 19 වනිදා පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේටයි.

එහිදී වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවයට.

ඊට අමතරව කෙහෙල්බද්ද පද්මේ ඇතුළු මෙම පිරිසට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.

එවන් පසුබිමක පසුගිය සමයේ කෙහෙල්බද්දර පද්මේට සමීප පාතාල කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.

ඒ අනුව අගෝස්තු 03 වනිදා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු බව කියන ‘පස් දේවා’ අත්අඩංගුවට ගනු ලැබුවේ, කටුනායක ගුවන් තොටුපොළේදීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අගෝස්තු 06 වනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් බැකෝ සමන් හා තැඹිලි ළහිරු නැමැති අපරාධකරුවන්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, පසුගිය පෙබරවාරි 18 වනදා අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනාගේ ඝාතනය මෙහෙයවීමය.

පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට

පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවෙසක සිටි අයෙක් ඉලක්ක කරගෙන මෙම වෙඩ් තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා පලායන්නට ඇති බව සැක කරන බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසලේ උදෑසන දේව මෙහෙය අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙකු බවට පොලීසිය තහවුර කර තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය ළමයි සහ දේව මෙහෙයට සහභාගි වූවන් ඉලක්ක කර සිතාමතා සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් බව සඳහන්.

වෙඩික්කරු රයිෆලයක්, ෂොට්ගන් සහ පිස්තෝලයකින් සන්නද්ධව සිට ඇති අතර, ඔහු දේවස්ථානයේ ජනේල හරහා වෙඩි තබා තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් අනතුරුව ඔහුද තුවක්කුවකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරගෙන ඇත.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු ළමුන් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ඊයේ (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.

අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

“අධිකරණය විසින්ම පැහැදිලි නියෝගයක් ලබාදුන්නා නීතිවිරෝධිව අනීතික ලෙස රැස්වීම පිළිබඳ විමර්ශනයක් සිදුකර ගරු අධිකරණයට ඊළඟ දිනයේ දී වාර්තා කරන්න. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණයට වාර්තාවක් සපයන්න නියමිතයි” යනුවෙන් හෙතෙම පැවසීය.

ගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් ගැන CIDයෙන් විමර්ශන….

2025 අගෝස්තු මස 05 වනදා පැවැත් වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

2025 අගෝස්තු 08 වන දින ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම විමර්ශනය සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවියට දැනුම්දුනි.

ඩොලර් සංචිත වැඩි කරගන්න ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත්විණි.

සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත්, ආර්ථිකයෙහි යම් ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකා රජය මේ වන විට සමත් වී ඇති නමුත් රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉතා වැදගත් වන ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීමේ අභියෝගය ජය ගැනිම සඳහා ව්‍යාපාරිකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

එහිදී ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීම බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජය, ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම්වලට සරිලන සාධාරණ බදු ගෙවීමක් සිදුකළ යුතු බවද පෙන්වා දී ඇත.

ආර්ථිකයට තිරිංග යොදා සීමා කළ නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද මෙහිදී අවධාරණය කළේය.

ආනයන සීමා ලිහිල් කිරීම මඟින් රජය සතු ඩොලර් සංචිතයට සිදුවන බලපෑම වළක්වා ගනිමින් ඩොලර් සංචිත ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන ආදායම් වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙහිදී තේ, පොල් සහ රබර් යන වගා ආශ්‍රිත අපනයන සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එහිදී එම ක්ෂේත්‍ර තුළ වර්තමානයේ මතු වී ඇති අභියෝග සහ ගැටලු මෙන්ම, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා වන යෝජනාද මෙම සාකච්ඡාවට එක් වූ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසද ඔවුහු එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරුද, තේ, රබර්, පොල් වගා ආශ්‍රිත කර්මාන්තයන්ට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ සහ අපනයන ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක….

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ, මේ වනවිට රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් මුද්‍රණ පිටපතක් ආකාරයෙන් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකය විනිවිදභාවයෙන් තොර අතර අක්‍රමිකතා සිදුවන බවට අනාවරණය වී ඇති හෙයින් ඒවා අවම කිරීම වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය භාවිත කළයුතු බවය.

එසේම රියදුරු බලපත්‍රය කල් ඉකුත්වූ විට එය අලුත් කර ගැනීමටත් වේරහැරට පැමිණීමට සිදුවන අතර එය ජනතාව අපහසුතාවට පත් කරවන්නක් බව ද අමාත්‍යවරුන් පෙන්වා දුන්නේය.

ඒ අනුව මාසයක් වැනි කාලයක් තුළ මෙම ක්‍රමවේදයත් වෙනස් කර, රියදුරු බලපත්‍රයක් අලුත් කිරිම සඳහා පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති ඔවුන් එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අවන්ති සේනාරත්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනී අරෝෂා විද්‍යාභූෂණ යන මහත්ම මහත්මීන් ඇතුළු මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අද (27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවය.

ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වනවිට ලබාදෙන ප්‍රතිකාර සමග පහව යමින් තිබෙන බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය.

මේ අතර, ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපයන බව පැවසු වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, සේවය ලබාගැනීමට රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමානව සලකන බව ද අවධාරණය කළේය.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුව පත්කරනු ලැබූ බවත් එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පැවසූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”