පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි….

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ.

ඒ අනුව මාර්ගය මතට ගල් පෙරලීමෙන් මාර්ගය අවහිර වී ඇති අතර පවතින අවදානම හේතුවෙන් එක් මංතීරුවක් පමණක් විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

එමෙන්ම පස්සර කනවැරැල්ල බටහිර හෙළපොල ප්‍රදේශයේ නාය යාමක් සක්‍රීය වීම හේතුවෙන් එහි පදිංචි පවුල් තුනක පුද්ගලයින් ඉවත් කර ආරක්ෂක ස්ථාන වෙත යැවීමට පස්සර ප්‍රාදේශීය ලේකම්තුමිය පියවර ගෙන තිබේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපය තුළද වැසි අපේක්ෂා කළ හැකි බව මේ වන විට දැනුම්දී ඇති බවය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනය ඊයේ (05) පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන අතර තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින බැවින් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් එම සංවිධානය පැවසීය.

තවද මාර්ග භාවිත කරන්නන් දෙපස ඇති අනතුරුදායක ප්‍රදේශ පසුකරන විට මේ සම්බන්ධව සැළකිලිමත්වන ලෙසත් එම සංවිධානය මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු කරන ජනතාව අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතු සිදුකරන්නේ නම් එම ස්ථානවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් කරන ලෙසත් එම සංවිධානය ජනතාව වෙත දැනුම් දීමක්ද කර ඇත.

එමෙන්ම යම් ආකාරයක පෙර නායයාම් ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසත් ඒ අනුව දිස්ත්‍රික්කයේ පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාලය දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

තරුණයින් දෙදෙනෙක් දුම්රියට බිලිවෙයි….

කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව 32 හැවිරිදි අයෙකි.

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට නඩු….

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතින බවය.

සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය.

එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු වේ නම් ඔහුට එරෙව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවද එම අධිකාරිය පැවසීය.

තවද දෙවන වර සිදුකරන වරදකදී එම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත් වසරක් දක්වා සිර දඬුවමක් ලබා දීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාවක් ඇති බවත් එම අධිකාරීය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර වර්තමානය වන විට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟය තවදුරටත් පවතින බව වෙළෙඳුන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම ගැටලුව සම්බන්ධව අවධානය යොමු කරමින් බලධාරීන් විසින් මේ සඳහා කඩිනම් පියවර ගත යුතු බවය.

කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට….

හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 106ක්, අයිස් ග්‍රෑම් 478ක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිශ්ක“ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි“ නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ය.

සැකකරුවන් 24 සහ 25 හැවිරිදි වියේ පසු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

තැන තැන සිදු වූ අනතුරුවලින් සිව් දෙනෙකු මරුට…..

බිංගිරිය පොලිස් වසමේ හමන්නාපහුව දළුපොත මාර්ගයේ ගුරුළුවෙල ප්‍රදේශයේදී මාරක අනතුරක් සිදුව තිබේ.

දළුපොත දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මාතර තිස්සමහාරාම මාර්ගයේ දංදෙනිය ප්‍රදේශයේදී තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කරෙයිනගර් කැරුම්කාලී වෙල් යාය මාර්ගයේ කරෙයිනගර් ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්විය.

ඇරැව්ව හන්දිය දෙස සිට කලභූමී දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

කයිට්ස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

නෙදුන්කේනි ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ පන්ඩාරිකුලම් ප්‍රදේශයේදී ඔඩ්ඩුසුඩාන් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 61ක් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුපැදිකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් රතු එළියක්…..

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට නතර කරන බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේය.

මේ අතර යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කරන බව විදුලිය පාවිච්චිකරන්නගේ සංගමය පවසයි.

එහි සභාපති එම්.ඩී ආර් අතුල මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

කිසිසේත් මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කළහොත් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් සිදුවිය හැකි බව ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පෙන්වා දුන්නේය.

ඇල්පිටිය ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවෙයි….

අද රාත්‍රී නමයි තිහට පමණ ඇල්පිටිය පොලිස් වසමේ ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.නාදුන්න පුද්ගලයකු විසින් එම නිවසේ ජනේලයකට වෙඩි තබා ඇත.එම අවස්ථාවේ නිවෙස් හිමියන් නිවස තුළ සිට ඇත. වෙඩි තැබූ අය යතුරුපැදියකින් පලා ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධව නිශ්චිත තොරතුරක් අනාවරණය නොවන අතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පොලිසිය වෙත දැනුම් දීම සම්බන්ධව මෙසේ වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි

අම්බලංගොඩ – අනුරාධ

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ජයග්‍රාහී මාවතක…..

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.

තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,

“ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා. 

ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්. 

අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා. 

සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි. 

විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි” ඇය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL අවසන් තීරණය ඉදිරි සති දෙක තුළ…..

පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙම මස දෙවන සතිය අවසානයේ ලබා දීමට කටයුතු කරන බව එම කොමිසම පවසයි.

විදුලි ගාස්තු ඉහළ සියයට 6.8කින් ඉහළ නංවන ලෙස යෝජනා කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබීය.

ඒ අනුව එම කොමිසම විසින් ඊට අදාළ වාචිකව මහජන අදහස් ලබාගැනීම පසුගිය මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කරනු ලැබීය.

මේ වන විට දිවයිනේ පළාත් 8ක් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගෙන ඇති අතර, පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය එළඹෙන 8 වනදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ මහජන අදහස් උපයෝගීතා කොමිසම විසින් අධ්‍යයනය කරමින් සිටින අතර එහිදී විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්දන බලාගාරවලින් ඉන්ධන මිලදී ගැනීමේ වියදම, බෙදා හැරීමේ වියදම හා ණය ගෙවීමට විදුලිය ගාස්තුවලින් අරමුදල් ලබා ගැනීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.

ඒ අනුව සියලු කරුණු සලකාබැලීමෙන් අනතුරුව විදුලි ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතය.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්….

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (04) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.