උත්සව සමයේ දී සිදුවන බරපතළ වංචා ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්…..

සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා, දත්ත සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරතව සිටින අපරාධකරුවන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාවගේ මුදල් හා සංවේදී තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බව පොලීසිය පවසයි.

ඇතැම් පුද්ගලයන් විසින් ආර්ථික අපහසුතා හේතුවෙන් හා ක්ෂණික මුල්‍ය ලාභ අපේක්ෂාවෙන් මෙවැනි වංචනික ක්‍රමෝපායන් වෙත නතුවීමේ හැකියාවන් පවතින බවට පසුගිය වර්ෂයන් තුළ පොලිස් ස්ථාන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වන ලද පැමිණිලි අනුව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

වංචා සහගත දැන්වීම්, වංචනික සබැඳි, අවුරුදු Offer හා Giveaway, ව්‍යාජ වෙළෙඳ සේවා වෙබ් අඩවි, ව්‍යාජ බැංකු දීමනා, ව්‍යාජ බැංකු වෙබ් අඩවි / යෙදුම් යාවත් කාලීනයන්, ව්‍යාජ QR Code Scan වංචා, තතුබෑම් ඊමේල් පණිවිඩ ( Email Phishing) ව්‍යාජ කෙටි පණිවිඩ ( SMS Phishing), නිත්‍යානුකූල බවට හැඟවෙන ව්‍යාජ වෙබ් අඩවි සහ Caller ID Spoofing වැනි ක්‍රම වේදයන් භාවිතා කරමින් මෙවැනි අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වංචාවන් සිදුකරන බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

එමෙන්ම මෙවැනි වංචා ප්‍රවර්ධනය කිරීමේදී ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කරලීමේ උපක්‍රම ලෙස  ජනාධිපතිගේ අගමැතිනිය ඇතුළු ඉහළ රජ්‍ය නිලධාරින් සහ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව යොදා ගැනීමේ හැකියාවන් ද පවතින අතර මෙම ආකාරයට වංචනික ක්‍රම මඟින් ලබා ගන්නා පුද්ගල සංවේදී දත්ත භාවිතා කරමින් ඉලක්ක ගත තතුබෑම් ප්‍රහාර (Phishing Attacks) මුල්‍ය වංචා සහ අනන්‍යතා සොරකම් ආදී අනිසි ක්‍රියාකාරකම්වලට ජනතාවට මුහුණපෑමට සිදුවන අවදානම් තත්ත්වයන්ද පවතින බව පොලීසිය අවධාරණය කර තිබේ.

එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවීම සඳහා මහජනතාව අන්තර්ජලාය හරහා ගනුදෙනු කිරීමේදී නිසි දැනුවත් භාවයකින් හා අවබෝධකින් කටයුතු කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රුපියල් 45,000ක අල්ලස් මුදලක් ලබාගත් තැරැව්කරු අත්අඩංගුවට….

රුපියල් හතළිස් පන්දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරු මෙම සැකකරුව අද (06) පෙරවරුවේ අයිරදි හංදිය පාලම අසල දී නිලධාරීන් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව, ඉඩමකට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රුපියල් 275,000/- ක මුදලක් සැකකරු විසින් අදාළ පැමිණිලිකාරියගෙන් ලබාගෙන තිබේ.

පසුව ඉඩම පිහිටි නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරියාට ලබා දීමට බවට පවසා නැවතත් රුපියල් 45,000ක මුදලක් සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සැකකරු විසින් එම අල්ලස් මුදල් ලබා ගත් අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගවරවිල, අප්කට් සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු‍කෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේවන විට දින 90ක රැඳවුම් නියෝග මත ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.

එම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන ප්‍රශ්න කිරීම අභියෝගයට ලක්කරමින් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා කියා සිටින්නේ, 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ තමන් මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවය.

අනතුරුව 2019 වසරේ ජනවාරි මස 07 වනදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වනදා දක්වා කාල සීමාව තුළ තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව සඳහන් කරන පෙත්සම්කරු පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවත් පෙන්වාදී තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශන සිදුකළ අතර විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක් විසින්ද විමර්ශන සිදු කළ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඔහු සඳහන් කරන්නේ ඒ සෑම පරීක්ෂණ වාර්තාවක් මගින්ම පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට කරුණු අනාවරණය කර තිබූ බවය.

ඒ කිසිදු වාර්තාවක තමන් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර නොතිබූ බවද සලේ මහතා අවධාරණය කරයි.

ඒ අනුව එම කිසිදු පරීක්ෂණ වාර්තාවක් මගින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර නොතිබූ බවයි ඔහු පෙන්වා දෙයි.

එසේම පෙත්සම්කරු පවසන්නේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමාව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවන් අත්අඩංගුවක් හෝ රඳවාගැනීමක් සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් නොමැති බවය.

ඒ අනුව තමා සහ සෙසු සාක්ෂිකරුවන් මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඔහු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

ජන හා නිවාස සංගණනය 2024 අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි….

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දී තිබේ.

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි විශේෂත්වයක් බව සඳහන් වේ.

ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදුකර තිබේ.

එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබාගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි වූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීමෙන් දිස්ත්‍රික් පරිපාලනයේ මෙහෙයවීම යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙනත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන් ඇතුළු සංගණනයේ තොරතුරු රැස්කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා දුන් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මෙම ජාතික කාර්යය සඳහා සහභාගී වී තිබේ.

මෙම සංගණනයේ ‘සංගණන මොහොත’ ලෙස 2024 දෙසැම්බර් මස 19වන දිනයේ ආරම්භ වන අවස්ථාව (එනම් පැය 00:00) සලකන ලදී.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය සහ පුද්ගලයින් පදිංචි නිවාස ඒකක පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ.

තවද, මෙම වාර්තාව රටේ ජනගහන ව්‍යුහය, නිවාස තත්ත්වය, සමාජ-ආර්ථික ලක්ෂණ සහ ප්‍රාදේශීය විෂමතා පිළිබඳව විස්තරාත්මක දත්ත සපයන මූලික ජාතික ලේඛනය ලෙස සැලකෙන අතර, සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම සෙසු ආයතන සඳහාද ඉතා වැදගත් වේ.

මෙහිදී අදහස් දක්වමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්.ඩී. කරුණාරත්න මහත්මිය පැවසුවේ, ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු රැස් කිරීමට හැකි වූ බවය.

එමඟින් වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් සකස් කිරීමට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි…..

සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ තෙවැනි රැස්වීම අද (06) පවත්වා තිබේ.

ඒ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සෘජු සහ මාර්ගගත යන ද්විතීක ක්‍රමය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද සංශෝධිත චක්‍රලේඛයට මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සහ ප්‍රජාශක්ති දිළිදුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා මෙහෙයුම් උපදෙස් සහ මාර්ගෝපදේශ කෙටුම්පත සම්බන්ධවද මෙහිදී සාකච්ඡා විය.

ප්‍රජාශක්ති වැඩසටහනට අදාළව රාජ්‍ය නිලධාරීන් සඳහා වූ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ එහි සැලැස්ම මෙන්ම, ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ප්‍රජාශක්ති සන්නිවේදන හා ප්‍රවර්ධන සැලැස්ම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ප්‍රජාශක්ති වැඩසටහන රට තුළ ක්‍රියාත්මක  වීම සහ සන්නිවේදන ප්‍රවර්ධන කාර්යයයන් මනා ඒකාබද්ධතාවකින් ක්‍රියාත්මක විය යුතු බව එහිදී අවධාරණය විය.

ඒ සඳහා සකස් කරන ලද පස් වැදෑරුම් ප්‍රවේශයකින් යුත් සන්නිවේදන ප්‍රවර්ධන සැලැස්ම සඳහා ප්‍රජා ශක්ති මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලබාදීමද මෙහිදී සිදු වූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල අනුයුක්ත කර ගැනීම සහ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම සවිබල ගැන්වීමේ නිලධාරියකු පත් කර ගැනීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ, ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු කර ඇත.

2027 වර්ෂය සඳහා වන සංවර්ධන යෝජනා සෘජුව අදාළ අමාත්‍යාංශ, පළාත් සභා සහ අනෙකුත් ආයතන වෙත යොමු කිරීමට අනුමැතිය ලබා ගැනීම, විවිධ අමාත්‍යාංශ සහ පළාත් සභා විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ප්‍රජා සංවර්ධන සභාවේ සහාය ලබා ගැනීම, 2026 ප්‍රජාශක්ති වාර්ෂික සැලැස්ම  සඳහා මෙහෙයුම් කමිටු අනුමැතිය ලබා ගැනීම ඇතුළු ප්‍රජාශක්ති ව්‍යාපාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඊට අනුමැතිය ලබා ගැනීමද මෙහිදී සිදු කෙරිණි.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට……

සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 572ක්ව පැවති එහි මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවය….

වත්කම් හෙළිකරන ලෙස අල්ලස් කොමිසම මහින්දට නොතීසි නිකුත් කරයි…

අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබේ.

රාජපක්ෂගේ වත්කම් සහ බැරකම් සහ ඔහුගේ පවුලේ අය සම්බන්ධයෙන් 2010 සිට 2015 දක්වා කාලය තුළ ආරම්භ කරන ලද පරීක්ෂණයකට අදාළව මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස අල්ලස් කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කර ඇත.

විමර්ශන දිගු කාලයක් ප්‍රමාද වී ඇති බවත්, එබැවින් අප්‍රේල් 10 වැනි දිනෙන් පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට රාජපක්ෂට තවත් කාලයක් ලබා නොදෙන බවත් කොමිසම හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

මේ අතර, දින 12ක් ඇතුළත වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා (3) නොතීසි නිකුත් කළේය.

දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති අතර, අදාළ කාල සීමාව තුළ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද කොමිසම දන්වා තිබේ.

අඛණ්ඩව සිදුවන විමර්ශන කිහිපයකට අදාළව මෙම තොරතුරු ඉල්ලා ඇත.

කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි….

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ.

ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා දිනය ඉමහත් භක්තියෙන් සමරනු ලැබේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින තුනකට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍ය ලෙස කිතුනුවන් සමරනු ලබන අතර ජේසුස් වහන්සේ දුක විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණු ජනතාව විවිධ වත් පිළිවෙත් සිදුකරමින් ගතකළ දින 40ක කාලයද පාස්කු ඉරු දිනයෙන් අවසන් වේ.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථානය වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවද බයිබලයේ සදහන් වේ.

අදට යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් ඊයේ රාත්‍රියේ සෑම දේවස්ථානයකදීම පැවැත්විණි.

අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේවමෙහෙය පැවැත්වුණේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.

මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජා සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද මෙම ආරක්ෂිත මෙහෙයුම් සඳහා යොදවා ඇති බවය.

මේ හේතුවෙන් අනවශ්‍ය බියකින් තොරව කිතුනු ජනතාවට තම ආගමික වතාවත් සිදුකිරීමට හැකියාව උදා කර ඇති බවද ජූඩ් ක්‍රිසන්ත පියතුමන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යමු – ජනපති…..

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස තමන් සියලු ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (05) යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ මොහොතේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුනේ ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවත් එදිරිවාදය පෙරදැරිය ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.

ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි.  මරණය පරදා  උත්ථානය ලැබූ  ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ. 

මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී  සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි  දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු! ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ  කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන  සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම පොදු වගකීමයි – සජිත්….

විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ ඒ සඳහා වූ ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීමද සියලු පාර්ශවයන් හී වගකීමක්ද වනු ඇති බවය.

නව බලාපොරොත්තු, අපේක්සා පෙරටු කරගනිමින් පාස්කු ඉරුදින සැමරුවද මීට වසර 07කට පෙර සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාබර මතක තවමත් ඉදිරිව පවතින බැවින් ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ සමීපතමයන් අහිමි වූ ජනතාවට යුක්තිය ඉටු කිරීමට පැවති මෙන්ම පවතින රජයටද නොහැකි වීම රටක් ලෙස ලැබූ මහත් පරාජයක් බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා වැඩිදුරටත් සිය පණිවිඩය මගින් සඳහන් කර ඇත්තේ විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා සත්‍ය හෙළි කිරී යනු රාජ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වගකීමක්ද වන බවය.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

පාස්කු මංගල්‍යය යනු බලාපොරොත්තුව, නැවත නැඟී සිටීම සහ සමාජයක් ලෙස නව ආරම්භයක් පිළිබඳ ව අපට මතක් කරවන පූජනීය අවස්ථාවකි. මෙම ආශීර්වාදයෙන් පිරි දිනයේ දී, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට ලැබීම සතුටට කරුණක් සේ සලකමි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා නැවත උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් විසින් පාස්කු මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.

නව බලාපොරොත්තු, අපේක්ෂා පෙරටු කර ගෙන පාස්කු මංගල්‍ය සැමරුවත් මීට වසර 7ට පෙර පාස්කු ඉරිදා දිනක අප රටේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් එල්ල කර ගෙන සිදු වූ මරාගෙන මැරෙන මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාබර මතකය අප හදවත් තුළ තවමත් ඉතිරිව පවතී. 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ විනාශකාරී මේ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ සමීපතමයන් අහිමි වූ අපේම රටේ අපේම ජනතාවට තවමත් යුක්තිය ඉටු කිරීමට පැවති මෙන්ම පවතින රජයට ද නොහැකි වීම රටක් ලෙස අප ලැබූ මහත් පරාජයක් සේ සලකමි. 

පාස්කු ඉරිදා දින සිදු වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් විපතට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සහ සත්‍යය හෙළි කිරීම යනු අපගේ රාජ්‍ය පද්ධතියට අයත් අත්‍යවශ්‍ය වගකීමක් සහ වගවීමක් වේ. මේ වගකීමෙන් සහ වගවීමෙන් අප කාටවත් නිදහස් විය නොහැක. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය, වගකීම සහ විනිවිදභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බව අප පසක් කර ගත යුතුය. මෙම කරුණු සම්බන්ධයෙන්, ආරම්භයේ සිටම දරන ස්ථාවරය වෙනස් නොවී, අද දින ද එයම පවත්වාගෙන යන බව අවධාරණය කරමි.

අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා සියලු ජාති, ආගම් සහ ප්‍රජා එක්සත් කරමින්, විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම අප සැමගේ පොදු වගකීමකි. එමඟින් නැවත එවැනි විපතක් සිදු නොවන පරිදි ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම අප සැමගේම වගකීමකි. 

මෙම පාස්කු දින, අපි වින්දිතයන්ගේ මතකයට ගෞරවය පළ කරමින්, යුක්තිය, සාමය සහ එකමුතුව සඳහා අපගේ කැපවෙමින් සත්‍ය අනාවරණය කර ගැනීමට සැවොම එකතු වෙමු.