තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම ගැන රජයෙන් පැහැදිලි කිරීමක්…..

අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ.

ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව තීරු බදු ප්‍රතිශත ක්‍රියාවට නැංවෙන්නේ, අගෝස්තු මස 7 වනදා සිට බවය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම්  ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ,

“මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යේන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩුකිරීම ගැන සතුට පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවුඩයක් තබා තිබුණි.

ඔහු පවසන්නේ ඉන්දියාවට 25%ක තීරුබදු අනුපාතයක් පනවද්දී ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවය.

එමෙන්ම අපේ අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත්කරදීමට නම් එම අනුපාතය 15% දක්වා අඩු කරගැනීම සඳහා අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරතවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ලොකු පැටී එළැඹෙන 04 වනදා දක්වා යළි රිමාන්ඩ්……

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදවා එල්ලවී සිටින අපරාධ කල්ලි නායකයෙකු වන “ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙන ආවේය.

බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසු වූ ඔහු දිවයිනට රැගෙන ඒමෙන් පසුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.

ඒ අනුව දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ විමර්ශන නිලධාරීන් ඔහු සතු වූ ගිනිඅවි හා දේපළ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර ගත්තේය.

ඔහුගේ දින 90ක රැඳවුම් කාලය එළැඹෙන 4 වනදා අවසන්වීමට නියමිතව තිබුණද විමර්ශන නිලධාරීන් අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ පාතාල කල්ලි රැසකින් ඔහුට තර්ජන එල්ලවීමත් සමගය.

ඒ අනුව ලොකු පැටී නැමැත්තාව එළැඹෙන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මන්ත්‍රී රෝහිතගේ බෑනාට ඇප හිමිවෙයි…..

ආන්දෝලනාත්මක  ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබේ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරු අද දින (01) දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ අනුව ධනුෂ්ක වීරක්කොඩි අද දින නැවතත් එම නඩු කටයුත්ත සඳහා කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් ඇප ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතාට ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

හිටපු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ඇප හිමිවෙයි….

ක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි සඳහන් කළාය.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත්, ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරු විමර්ශනවලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළහ.

ඉන් අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 9 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

අමෙරිකානු තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි…..

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.

ඒ අනුව දකුණු ආසියානු රටවල්වන බංග්ලාදේශයෙන් 20%ක්, පාකිස්තානයෙන් 19%ක් දක්වා ද අඩුකර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නොමැති අතර, එය 25% සීමාවේ එලෙසින්ම පවතියි.

මේ අතර 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන බද්ද 10%ක් දක්වා අඩුකර තිබීමද විශේෂත්වයක්ය.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රධානම මිතුරු රාජ්‍යයක් වන ඊශ්‍රායලයෙන් අයකරන තීරු බදු අනුපාතයද 15%ක් දක්වා පහත හෙළා ඇත.

මෙම පහත දැමූ තීරුබදු අනුපාත අතර ඉහළම ප්‍රතිශතය 41%ක් වන අතර, එය සිරියාව වෙනුවෙන් දක්වා තිබේ.

එමෙන්ම ලාඕසයෙන් හා මියන්මාරයෙන් 40% බැගින් අය කරන බවද ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගෙවුණු මාස 06ට පොලිස් නිලධාරීන් 300ගේ වැඩ තහනම් කරලා……

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

”මේ මාස 6ට විතරක් 300ක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. 

සමහර අය අවුරුදු 25ක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. 

අපේ පාලක ජෙනරාල්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට… මුලට තියෙනවා වැඩබලන කියලා. 

ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා, පොලිස්පතිවරයා සිරගතවෙලා ඇප පිට ඉන්නවා, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගතවෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. 

දැන් මේ ප්‍රධාන ආයතනවල ඉන්නේ වැඩ බලන තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ?. අපි ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත්, ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත්…එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. 

ඒ හින්දා අපි රජයක් හැටියටත්, තරාතිරම කුමක් වුවත් ඒ හැම තරාතිරමක කෙනෙකු නීතිවිරෝධි කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය.

අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නොවෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.

කාගේත් ඇස් මවිත කළ මිලකට වෙන්දේසි වුණු මයිකල් ජැක්සන්ගේ මේස් කකුල…

ගායක මයිකල් ජැක්සන්, 1997 වසරේ දී ප්‍රංශයේ පැවති ප්‍රසංගයක් අතරතුර පැළඳ සිටි දිලිසෙන මේස් කකුලක් ඩොලර් 9,000කට වෙන්දේසි වී තිබෙනවා.ප්‍රංශයේ බදාදා පැවැති වෙන්දේසියකදී මෙය අලෙවි වී ඇතැයි වාර්තා වේ.

ජැක්සන් ඔහුගේ HIStory: Past, Present and Future, Book I ගීත ඇලබමය නිකුත් කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා මෙලෙස ප්‍රංශයේ ප්‍රසංගයට සහභාගීවන අතරතුර “සඳ ඇවිදීම” සිදු කරන ඉරියව්වේ දී මෙම මේස් එක විශේෂයෙන් කැපී පෙනුණු බව කියනු ලැබේ.

ජැක්සන් එය සෝදා නැති බවද සඳහන්ය.

මෙම වෙන්දේසියේදී, මේස් එක විකුණනු ලැබුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් ලැබුණු පසුපස වේදිකා අවසර පත්‍රයක් සමඟිනි.

ඔහු නයිස් හි ප්‍රසංගයකින් පසු උපකරණ ඉවත් කිරීමේදී මෙය සොයාගෙන මේ දක්වා එය සුරැකිව තබාගෙන සිට තිබේ.

 

උපුටා ගැනීම Hiru Gossip

දෙයියනේ මෙහෙමත් මනමාලයෙක් … මංගල කේක් කෑල්ලක් ගැන ඇහෙන පුදුම හිතෙන කතාව…

මංගල දිනයේ මංගල මොහොතේ කැපූ පළමු කේක් කෑල්ල මනාලියට නොකවා මනාලයාම කටේ ඔබාගත් පුවතක් වැලිමඩට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබෙනවා..

මනාලයා වයස 30 ඉක්මවූ මැදිවියේ තරුණ මහත්මයක්.

ප්‍රේම සබඳතා කොතෙකුත් පැවතිය ද එක්කෝ පවුලට නොගැළපෙයි. නැතිනම් ඒවා තමන්ට නොගැළපෙයි. මවුපිය පාර්ශ්වය අවසානයේ තම පුතුට මනාලියක සෙවීමේ කාර්ය ගමේ ප්‍රසිද්ධ කපු නෝනා කෙනෙකුට පැවරුවා…

ඇය මනාල මහතාගේ ඡායාරූපයක්ද රැගෙන මනාලයාට හා මනාල මහතාගේ පවුලට ගැළපෙන තරුණියක සොයා ගැනීමේ භාරදූර කාර්ය භාර ගත්තා…

මනාල මහතාගේ පවුල ගමේ ප්‍රසිද්ධ කුඹුරුපිටි හිමි පවුලක්. මනාල මහතාද කුඩා කල සිටම කුඹුරු ආශ්‍රිතව ගැවසෙන තැනකට ගොස් හැසිරීමට යම්තාක් තරමින් නොදත් අයෙක්. ඔහුගේ දුර්වලතා කපු නෝනා විසින් අවස්ථා කිහිපයකදී වසන් කර තිබුණා …

කෙසේ හෝ කපු නෝනා අසල ගම් කිහිපයකින් මනාලියන් සොයා ගිය අතර, අවසානයේ අල්ලපු ගමින්ම සුදුසු තරුණියක සොයා ගැනීමට ඇය සමත්වූවා. මනාල පාර්ශ්වයත් මනාලියගේ පාර්ශ්වයත් වට කිහිපයක් හමුවී අවසානයේ විවාහයට සුදුසු දිනයක් යොදා ගැනුණා.

විවාහයට මනාල පාර්ශ්වයගේ පිරිසටත් මනාලියගේ පාර්ශ්වයේ පිරිසටත් ගමේ ඈයන්ටත් ආරාධනා කලා .

උදෑසන සිට චාරිත්‍රවලින් මනාල මහත්මා වෙහෙස වී සිටියා… හරියාකරයේ ආහාරයක් වත් ලැබුණේ නැහැ. කෙසේ හෝ මනමාල ජෝඩූව කේක් කපා සතුට සමරන අවස්ථාව එළඹුණා.. දෙදෙනා එක් වී කේක් කැපූ සැණින් තම මනාලියට කේක් කවනවා වෙනුවට කේක් කැබැල්ලම තමන්ගේ කටේ ඔබාගෙන කෑමට මනමාල මහතා කටයුතු කළා..

සිදු වූ දේ සිතා ගැනීමට නොහැකි වූ මනාලිය තම මව්පිය පාර්ශ්වය දෙස බැලුවා. අසල සිටි පිරිසත් ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිනාසුණා. කලබල වූ මනාල මහතාට සිදු වූ දේ වැටහූ විට සියල්ල සිදු වී අවසන්. කෙසේ හෝ ඔහු දකින විට එම සිදුවීම මතක් කර මොහොතක් සිනාසීම මේ ගමේ පිරිස කාලයක සිට සිදු කරනවා….

උපුටා ගැනීම – Hiru Gossip

 

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ….

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණ ද 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කරන ලදී.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසිනි.

ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කර ඇත.

මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්රිය අංශයට ඉන්දියාවේ සමුච්චිත මූල්‍ය ආධාර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2කි.

මේ දක්වා, ඉන්දියාව කිලෝමීටර 500 කට ආසන්න දුම්රිය මාර්ගයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර ඇති අතර කිලෝමීටර 400 ක පමණ දුම්රිය ජාලයක් හරහා සංඥා සහ විදුලි සංදේශ පද්ධති සපයා ඇත.