ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..

ඉදිරි පැය 36දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….

සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, කර්මාන්ත ගාස්තුව සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පතු මුදල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එම සංශෝධන අනුව ගෙවීම්  සිදු කළ යුත්තේ ලබන ජනවාරි පළමුවනදා සිට බවය.

ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු 9වනදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.

මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….

මාලිමාවේ බලය හිමි රත්නපුරු මහ නගර සභාවේ 2026 වසරට නියමිත මංගල අයවැය රත්තපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා විසින් අද(12) දින සභාවට ඉදිරිපත් කෙරුණා

එය සම්මත කරගැනීමට ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී 25 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා
අයවැයට පක්ෂව ඡන්ද දොළහකුත් (12)විපක්ෂව ඡන්ද දහතුනකුත් (13)හිමිවිය .
මේ නිසා මාලිමාවේ බලය හිමි රත්නපුර මහ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද තුනකින්(03) පරාජ විය

රත්නපුර මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 27 ක් වන අතර අද දින සභාවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ සිටියේ නැත

එම මන්ත්‍රීවරු දෙදෙනා ..
1 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ L.P. ලියනාරච්චි

2 එක්සත් ජාතික පක්ෂයේ R.G. ඩයන් නිපුණ රාජපක්ෂ

රත්නපුර –  ගයාන් කුඩාගම

විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමට සැලසුම් කර තිබේ.

එළැඹෙන විධායක සභාවේදී අදාල පත් කිරීම සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත් මහරගම ආසන සංවිධායකවරයා ලෙසත් මේ වන විට පත් කර තිබේ.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්….

අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

2012 වසරේ ජනවාරි මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා අතර කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපොළ අයථ ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

හිටපු කථානායක අශෝක රන්වලට ඇප…..

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ.මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බවය. ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.

ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ඊයේ (10) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

මෙම පශ්චාත් ආපදා සමයේ ජනතාවට අවශ්‍ය ආහාර  ද්‍රව්‍ය සැපයුම හා මිල තත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදි.

වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කර ගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව මෙහි දී කටයුතු කරන ලදි.

ඒ අනුව වෙළෙඳපොළ තුල එම කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ළූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාඡ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට අවධානය යොමු වී ඇත.

එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට ද ආහාර සුරක්ෂිතා කමිටුව සාකච්ඡා කොට ඇත.

දිට්වා සුළි කුණාටුවත් සමඟ රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමටද තීරණය කර තිබේ.

ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව දන්වා ඇත.

එමෙන්ම නව ණය පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

“අපි සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 81ක් වෙන්කළා මේ ආදි සහන ණය ලබාදෙන්න. ඒ මුදලුත් පවතිනවා. ඊට අමතරව නව ණය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

ආපදාවෙන් විනාශයට පත්වුණු මේ කර්මාන්ත, කෘෂි, ධීවර යනාදී කර්මාන්ත ව්‍යාපාරික ස්ථාන නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය රජය ලබාදෙනවා. ඒක කළ යුතුමයි.

මේකෙන් සිදු වූ ආර්ථික බලපෑම ඉක්මනින් යථා තත්වයට පත් කරලා, එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම්, මේ ආර්ථික ක්ෂේත්‍රයේ සෘජුවම නිරත වූ අයට සහන ලබාදිය යුතුයි” යනුවෙන් පැවසීය.

හිටපු කථානායක පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ.

ඒ අනුව කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා  ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්‍රී අශෝක රන්වල මහතාද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.