ඉංජිනේරු හිඟය ගැන විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්….

පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු එලෙස රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

සංඛ්‍යා දත්තවලට අනුව මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ  සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.

ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් වන අතර සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් ද වන බව සඳහන්ය.

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවය.

ඒ අනුව එම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝණය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තැපැල් සේවකයින් හෙට වර්ජනයට සැරසෙයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු  සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ඒ අනුව එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුවන බැවින් මහජනතාවට එමගින් සේවාවන් ලබා ගත හැකි බවය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදුකරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පාදුක්ක පොලිසියේදී යකා නැටූ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට….

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ හිටපු ප්‍රාදේශිය සභා සභිකයාගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී ඊයේ (15) පස්වරුවේ අනතුරක් සිදුව තිබුණි.

මේ හේතුවෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කළ අතර මොටර් රථයද පොලිස් භාරයට ගැණුනි.

කෙසේවෙතත් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ සභිකයෙක් පොලිස් නිලධාරින්ට බැන වැදී තිබුණි.

එහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමට ඔු උත්සාහ දරා ඇති අතර දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කිරීමට පොලීසිය කටයුතු කළේය.

නමුත් එහිදී තමාට අසනීප බවත් සිර මැදිරියේ රැඳී සිටීමට නොහැකි බවත් පැවසීහ හේතුවෙන් පොලිසිය සැකකරුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල තුළත් සැකකරු කලහකාරි ලෙස හැසිරුණු බව වාර්තා වෙයි.

මේවන විට සැකකරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාත් එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට පත් මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ හිතවතෙක් වන අතර  ඔවුන් දෙදෙනා ඊයේ සවස මත්පැන් පානය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සීතාවක ප්‍රාදේශිය සභාවේ හිටපු එක්සත් ජතික පක්ෂයේ සභිකයෙකු සහ පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ⁣අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

දිවයින පුරා සිදුකරන විශේෂ පොලිස් මෙහෙයුම – සැකපිට 689ක් අත්අඩංගුවට…

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ පොලිස් මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) දිනය තුළ සිදුකරන ලද මෙම මෙහෙයුම් මගින් අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන් 242 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 158ක් බව පොලීසිය පවසයි.

මේ අතර බීමත් රියදුරන් 100ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුනය ගෙන ඇත.

රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3,635ක් සඳහාද පොලීසිය නෛතික පියවර ගෙන තිබේ.

මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව……

මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, චැනල් නිවුස් ඒෂියා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විය.

මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කළහ.

එමෙන්ම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිංගප්පූරුවේදී චැනල් නිවුස් ඒෂියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

මේ අතර අමෙරිකාව පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 16,000කට ආසන්න ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහන් කළේය.

මේ අතර මෙරට ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත් විය.

ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය සටහන් වූයේ එය ඒකක 20,218.36ක් ලෙසිනි.

එමෙන්ම අද දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තාවීම විශේෂත්වයකි.

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා…..

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇති බවය.

ඒ අනුව අනිද්දා පස්වරු 5ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

අදානිට වෙන් කළ ඉඩම් නැවත ටෙන්ඩර් කිරීමට පියවර….

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

අද (15) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මන්නාරමේ විදුලි ජනනය සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ආචාර්ය කුමාර ජයකොඩි මහතා,

“මන්නරාම් දූපතේ කොටස් දෙකක් තිබුණා එකක් මෙගාවෝට් 250ක් සහ පුනරීන්වල මෙගාවෝට් 234ක් විදිහට. ඒකෙන් එගොල්ලෝ ඉවත් වුණා. අපි කල්පනා කරන්නේ නැවත අවශ්‍යතාවය මත ටෙන්ඩර්වලට ගිහිල්ලා ටෙන්ඩර් හරහා ඒ අයට ප්‍රධානය කරන්න. එතැනදි අදානි සමාගමට හෝ ඕනෑම සමාගමකට ඉදිරිපත් වෙන්න පුළුවන්. සාර්ථකත්වය සහ අඩුම මිල ගණනකට තමා අපි දෙන්නේ…”

මෙහිදී අදානි සමාගම විසින් ඉදිකිරීම් සඳහා වැය වූ මූලික මුදල රජයෙන් ඉල්ලා ඇති බව පළවන වාර්තා සම්බන්ධවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ආපසු ගෙවන සහ නොගෙවන තැන්පත් ඇති බවත් ඒ අනුව දිය යුතු දේ සහ නොදිය යුතු දේ කුමක්ද යන්න හඳුනාගනිමින් අවශ්‍ය දේ ලබා දීමට පියවර ගන්නා බවය.

“ඕන කොන්ත්‍රාත්වල තියෙනවා ආපසු ගෙවන සහ ආපසු නොගෙවන තැන්පත් තියෙනවා. ඕනෑම කොන්ත්‍රාත්කරුවෙක්ම ඉල්ලනකොට මස් රාත්තලම ඉල්ලනවානේ… අපි දිය යුතු දේ මොකක්ද නොදිය යුතු දේ  මොකක්ද කියලා හඳුනගෙන අපි දෙනවා කිසි ගැටලුවක් නෑ… නැවත දෙන්න ඕන දේවල් අපි දෙන්න ඕනේ අපි ඒ සීමාවේ ඉන්නවා.”

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි පසුගිය පෙබරවාරි මාසයේදී තීරණය කෙරිණි.

නව පොලිස්පති ජනපති හමුවෙයි….

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වා තිබේ.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයාද වේ.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය…..

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (15) සිය සහතිකය සටහන් කළේය.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී  සම්මත විය.

ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 13  දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වන අතර  මෙම  පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කොට ඇත.

මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතී. එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සලසන අතර චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා ඇත.

මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම, ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබා දීම සදහා විධිවිධාන සැලසීම, අභාවිත පරිචයන් ඉවත් කිරීම සහ වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීම ඇතුළත් වේ.

එමෙන්ම ගෙවීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කිරීමේදී ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් චෙක්පතක අනුරූපයක් අණලත් බැංකුව වෙත යැවීමට බැංකුකරුට හැකියාව ලබා දීම, චෙක්පතක කවර හෝ එක් පසෙක රේඛනය කිරීමේ පරිචය පිළිගැනීම, “ආදායකයාගේ ගිණුමට” යනුවෙන් රේඛනය කිරීම (“පමණි” වචනය සමඟ හෝ නොමැතිව) ව්‍යවස්ථානුකූලව පිළිගැනීම, ගෙවීම් සිදු කරන බැංකු සඳහා ආරක්ෂණය වැඩි කිරීම, චෙක්පත් අගරු කිරීම සඳහා දඬුවම් සහ ඒ සම්බන්ධ විධිවිධාන සැලැස්වීම සහ ආදායකයාගේ නම වෙනස් කිරීම වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකීම යන විධිවිධාන ද ඇතුළත් වේ.

ඉතිහාසයේ පළමු වරට ASPI ඒකක 20,000 ඉක්මවා නතරවෙයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි.

ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.

මීට පෙර පසුගිය අගෝස්තු 04 දින ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා යාමට සමත් වුවද, එදින ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,000 සීමාවෙන් පහළට ඇවිත් නතර වී තිබුණි.

අද දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.