ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි

1486309012007-253dd5f0-7b9a-4374-9ed4-c3c2df6853bf

ලේ වලට වඩා ආදරය බලවත්ය. මේ ඒ ගැන කතාවයි.  “දෙයක් වේනම් යම් – සුදුස්සාටම අයිති විය යුතු” යන සනාථන දහම රජයන කතාවයි. ඉතින් ඒ කතාව ගැන තවත් අටුවා, ටීකා, ටිප්පනී අවශ්‍ය නැත.

පරම්පරා ගණනක් පුරා දේශීය නාට්‍ය වංශයේ අද්විතීය ස්ථානයක් සරසන්නට සොදුරු සුදුස්සෙක් වු හුණුවටයේ කතාව වයස අවුරුදු 50 සැමරීමට සූදානම් වන බව නාට්‍යෙලෝලී ඔබට දැනුම්  දෙන්නේ හදපිරි සතුටිනි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබද සොදුරු කතිකාවකට බොස්ටන් ලංකා සමගින් අප හමුවූයේ හුණුවටයේ අධ්‍යක්ෂ හෙන්රි ජයසේනයන්ගේ පුත් සුදාරක ජයසේනයි.

·         හුණුවටයේ කතාව අවුරුදු 50 උපන්දිනේ ජයටම සමරන්නද සූදානම?

මේ මාසෙ (මාර්තු) 08 වන දිනට අවුරුදු 50 පිරීම නිමිත්තෙන් මරදාන ටවර් හෝල් රගහලේදී එදින සවස 6.00 විශේෂ නාට්‍ය දර්ශණයක් අපි විසින් සංවිධානය කර තියෙනවා. මේ සදහා නාට්‍ය ලෝලී සියලුදෙනාටමත්, හුණුවටයේ කතාව සමග අත්වැල් බැදගත් සියලුම සහෘදයන්ටත් මේ අවස්ථාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා.

1486309267693-7569b49f-928b-4f92-9239-71e8065d4cf0

·         මේ අනුවර්තන නාට්‍ය දැන් අපේ නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා නේද?

ඇත්ත, අද වෙනවිට මේ නාට්‍ය විදේශීය නාට්‍යයක් කියන එක පවා අමතක වෙලා අපේ ජනතාවගේ ලේ හා බද්ධ වුණු නාර්මාණයක් බවට පත්වී තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන් මේ නාට්‍යයේ කතාව හේතුවක් වන්න ප්‍රලුවන්. මොකද මේ කතාව අපේ ජාතක පොතේ එන “උම්මග්ග ජාතක කතාව” ට සමීප සම්බන්ධතාවයක් දක්වන නිසා. මීට අමතරව ප්‍රධාන වශයෙන් පරිවර්තන කාර්යයේදී දේශීය ජනතාවට සමීප වහරක් සහ යෙදුම් යොදාගැනීම වගේම, නාට්‍ය සංගීතයත් ප්‍රධාන වශයෙන් මේ තත්ත්වය ඇතිකරන්න හේතුවෙලා තියෙනවා. ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දේශීය නාද තාල ඔස්සේ මේ නාට්‍ය වෙනුවෙන් නිර්මාණය කරපු සංගීතය හුණුවටයේ කතාවට විශාල ආලෝකයක් ලබාදී තියෙනවා.

1486309932650-9271adf1-248a-4f26-ad01-2712c6c8a7ad

·         ඔබේ මව සහ පියා රගපෑ චරිත අද නව පරපුරේ රංගන ශිල්පියෙකු සහ රංගන ශිල්පිණියක විසින් නිරූපණය කිරීම දැනෙන්නෙ කොහොමද?

අපේ අම්මගෙ සහ තාත්තගෙ ජීවිතයේ එක් කොටසක් තමයි මේ නාට්‍ය. ගෲෂා සහ අසඩක් කියන චරිත ලාංකික සමාජය වෙතට ගෙනයාමේදී විශාල කාර්යභාරයක් ඒ දෙදෙනා විසින් සිදුකලා. මේ කාර්යය වර්තමානයේ ඒ චරිත දෙක නිරූපණය කරන රුවිනී මනම්පේරි සහ නලින් ප්‍රදීප් උඩවෙල විසින් සාර්ථක අයුරින් සිදුකරනවා. මේ දෙදෙනා මගේ පියාගේ අධ්‍යක්ෂණය යටතේ මේ චරිතයන් නිරූපණයන් කිරීමට යොමුවූ අය. ඒ නිසා තාත්තගෙ උපදෙස් සහ ගුරුහරුකම් යටතේ සාර්ථක අයුරින් ඒ චරිතයන් නිරූපණයේ යෙදෙනවා. ඒ ව‍ගේම මේ නාට්‍යයේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරණ අපේ නාට්‍ය කණ්ඩායමේ සියලුම සාමාජිකයන් හටත් මාගේ කෘතඥතාවය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

1486309615060-b2e24e05-2963-4e53-99f4-fc06718fa9b7

·         හුණුවටයේ කතාව නාට්‍ය ලාංකීය වේදිකා නාට්‍ය කලාවට සිදු කළ බලපෑම ඔබ දකින්නෙ කොහොමද?

ජනප්‍රිය විදේශීය නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් මුලින්ම ලංකාවට හදුන්වා දුන්නේ මේ හුණුවටයේ කතාව තුලින්. එයින් නාට්‍ය කලාව වෙත විශාල දැනුමක් ගෙන ඒමට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව ලංකාවේ සෑම ගම් දනව්වකම ප්‍රධාන වේදිකා වල වගේම විවිධ රංග භූමි වල මේ නාට්‍ය රගදක්වමින් අවුරුදු 50 ක් පුරාවට ලාංකීය ප්‍රෙක්ෂකයන් ඥාණනය කිරීමේ භාග්‍ය මේ නාට්‍යයට ලැබී තියෙනවා. මෙයින් සබුද්ධික ජනතාවක් බිහිකිරීමේ කාර්යයේ නිරතවීමටත් හුණුවටයේ කතාවට හැකියාව ලැබී තියෙනවා. නවක රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් නාටය කලාවට අවතීර්ණ කරවීමට අතීතයේ ඉදන් අද දක්වා මේ නාට්‍ය දායකත්වයක් ලබාදී තියෙනවා.

සංවාදය සහ සටහන – පාලිත අබේලාල් (palithaabelal@gmail.com)