සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි.

නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.

වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය (හුණුවිලගම පිවිසුම), යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස (පලටුපාන පිවිසුම), මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවය.

මීට අමතරව සංචාරක නිවාස කිහිපයක්ද හෙට සිට විවෘත කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව කුමන ජාතික උද්‍යානය – තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානය – ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානය – මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානය – රඹවිල සංචාරක නිවාසය, යාල ජාතික උද්‍යානය – I කොටස හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව, මහා සීලව, යන සංචාරක නිවාස හෙට දින සිට විවෘත වනු ඇත.

තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී….

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.

අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මගී යාත්‍රා සේවය තාවකාලිකව ඇත.

මෙම නෞකා සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කරන ලද අතර, එතැන් සිට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පැවතුනි.

ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාව ඔස්සේ ගමන් කරති.

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව රු 15000ක් දක්වා ඉහළට…..

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවය.

නමුත් එම නිවේදනයේ ඩොලර් වලින් ගෙවිය යුතු මුදල සඳහන් ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර, එළැඹෙන සතියේ යළි ගැසට් නිවේදය නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරරටත් පැවසීය.

මෙම පහසුකම ඉදිරියේදී විදේශිකයන්ට පමණක් නොවන බවත් වසර ගණනාවකට පසු නැවතත් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද අදළ ගාස්තු ගෙවා ලබාගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ප්‍රවාහන අමාත්‍යංශය තීන්දුවක් ගත්තේ අපේ රටට පැමිණෙන විදේශිකයන්ට පමණක් නෙමෙයි ලංකාවෙන් බැහැරව ඉන්නවා ලක්ෂ 35කට ආසන්න ශ්‍රී ලාංකිකයෝ.  එතනත් බහුතරයක් ඉන්නවා ඒ රටවල වසර 10ක් 15කට වඩා වැඩිය ඒ රටවල ජීවත්වන අය. ඒගොල්ලෝ ලංකාවට ආවම එයාලටත් මේ අවශතාවය පැන නගිනවා. සංචාරකයින්ට පමණක්ම නෙමෙයි. රාජතාන්ත්‍රිකව කටයුතු කරන අපේ තනාපති කාර්යිල වල ඉන්න අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.”

“ආයෝජකයෝ ගෙන්න ගත්තම, අලුත් ව්‍යාපාර පටන් ගත්තාම ඒ ආයතනවල සේවා සපයන අයටත් ඒ අවශ්‍යතාවය තියෙනවා.”

“ඒ රියදුරු බලපත්‍රය ලබාදෙන්න ගන්න මුදල මදී. රුපියල් 2000ක් වගේ පුංචි ගානක්. අපි ඒක ප්‍රවාහන අමාත්‍යංශයත් එක්ක කතා කළා. එකඟතාවයකට ආවා ඒ මුදල වැඩි කරන්න.

“අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා ඒ ගැසට් එකේ තියෙන්නේ ඩොලර්ස් වලින්. ප්‍රවාහන අමාත්‍යංශයට නීතිමය හැකියාවක් නෑ ඩොලර්ස් වලින් සල්ලි ගන්න. ඒ නිසා නැවත ගැසට් එක රුපියල්වලට වෙනස් කරන්න ඕනේ. ඒක ලබන සතියේ අඟහරුවාදා වෙනස් කරලා නීතිපතිට ආපහු යවනවා. ඒ කටයුත්ත අවසන් වුණාම ලංකාවට පැමිණෙන ඒ අයට දැනට බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන්  රියදුරු බලපත්‍රයක් ලබා දීමේදී මාසයක කාලයකට පමණක් ලබා ගන්න රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000ක් අයකරනවා. ඒ කියන්නේ ඩොලර් 50ක් අයකරනවා. මාස 2ක් වෙනකොට ඒක තවත් වැඩි කරනවා. මාස 3ක් වෙනකොට තවත් වැඩි වෙනවා. ඒ නිසා රුපියල් 2,000ට ඒ ලබා දීපු ඒක අපි වෙනස් කරලා. ප්‍රවාහන අමාත්‍යංශය එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රියදුරු සේවයේ ඉන්න අයට තමන්ගේ රැකියාව නැති වෙනවා කියලා බියක් සැකයක් ඇති කරගන්න ඕනේ නෑ. ”

සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි…..

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.

එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගියේය.

දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ ඇත.

ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396,274කි.

එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පැමිණ ඇත.

ඊට අමතර ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) හා අමෙරිකාව (50,027) යන රටවලින්ද පනස්දහස ඉක්ම වූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

එමෙන්ම ඉතාලිය (39,932), කැනඩාව (37,606), ස්පාඤ්ඤය (36,430), පෝලන්තය (36,389) යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් මෙරටට පැමිණ ඇත.

පසුගිය වසරේ දී ලක්ෂ 20 (2,053,465) ඉක්ම වූ සංචාරකයන් මෙරටට පැමිණ තිබුණි.

අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් වාර්තා වූ වසර වන්නේ 2018 වසරය.

එවර ලක්ෂ 23කට (2,333,796) වැඩි සංචාරකයන් පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ අවස්ථා 4කදීය.

එනම් 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීය.

ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.

2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.

දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.

අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.

මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස ඉක්මවයි….

සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379කි.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 37,179කි.

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.

ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ තිබේ.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් බවත් එම අධිකාරියේ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද  ලෙසින් සංචාරකයින් වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ.

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැ. 15 සිට….

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද (26) පාර්ලිමේන්තුවේ ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවය.

එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද පැවසීය.

නව රියදුරු බලපත්‍රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළේය.

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට….

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ.

සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව ඇති බව සඳහන් වේ.

2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වන ස්ථානයේ පසුවිය.

ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටියි.

පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කෙරේ.

මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පත්ව ඇති අතර දකුණු කොරියාව සහ ජපානය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

මෙම විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ පහළම ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්…..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වත්මන් මැතිවරණ පහක් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි අයුරින් නීතිමය ක්‍රමෝපායන් සකස් වී තිබීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව, විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංඩල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමිව තිබේ.