2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත්විය.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වැනි සහ අවසන් තරගය චීනයට එරෙහිව කොළඹ තුරග තරඟ පිටියේදී අද උදෑසන පැවැත්වුණි.

මෙම තරගය ලකුණු 34ට 07ක විශිෂ්ට ජය වාර්තා කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගි වන කුසලාන අවසන් පූර්ව තරගය ප්‍රබල ජපානයට එරෙහිව අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.

ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….

2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත.

අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.

එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන  ස්ථානයට පත්විය.

මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතර, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව පළමු දසදෙනා අතර පසුවෙයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘ C’ කාණ්ඩයෙන් තරගවදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දහවල් 12:40ට උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව සිංගප්පූරුව සමගින් ප.ව. 5:04ටද, චීනය සමග රාත්‍රී 9:50ටද තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගය පෙ.ව. 10:28ට තායිලන්තයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.

කාන්තා කණ්ඩායමට රන්දිකා කුමුදුමාලි නායකත්වය ලබාදේ.

මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට  ශ්‍රී ලංකා රග්බි සංගමය අවස්ථාව ලබා දී ඇත.

ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති  (සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය.

අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ  විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින  ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් ලෙස සැලකේ.

ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (World Anti – Doping Agency- WADA) විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට සම්බන්ධ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති සහ රෙගුලාසි වාර්ෂිකව නිරීක්ෂණය කරන අතර, ඒ අනුව නූතන ක්‍රීඩා අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නීති සහ රෙගුලාසිවලට අනුව පවතින පනත සංශෝධනය කිරීම මෙම පනත මගින් අපේක්ෂා කර ඇත.

ඒ අනුව ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත්  කෙටුම්පත,  2025 අංක 21 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.

පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,

“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. 

ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන. 

පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..

ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.

මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.

2020 ඔලිම්පික් රන් පදක්කමත්, 2024 ඔලිම්පික් රිදී පදක්කමත් දිනාගත් දිනාගත් නීරාජ් චොප්රාට මෙම තරගයේ දී හිමි වූයේ 8වන ස්ථානයයි.

ඔහු මීටර 84.03ක දක්ෂතාවක් දැක්වීය.

එමෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා වන අර්ෂාද්ට මෙහිදී 10වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 82.75ක දක්ෂාවක්ය.

මෙහි රන් පදක්ම දිනාගැනීමට ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ  Keshorn WALCOTT සමත්විය.

ඔහු මීටර 88.16ක දක්ෂාතාවක් දැක්වීය.

රිදී පදක්කම මීටර 87.38ක දක්ෂාවක් දැක් වූ ග්‍රෙනඩාවේ Anderson PETERS හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ අමෙරිකාවේ Curtis THOMPSON (මී. 86.67) විසින්ය.

22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ලාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.

වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 5ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත් අතර, ඒ සමග ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (4) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 330ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 331ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 50 තුළදී රැස්කළ හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 325ක් පමණි.

මෙය වසර 27කට පසු එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව එරටදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔවුන් අවසන්වරට එංගලන්තයේ දී එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 1998 වසරේදීය.

වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….

චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.

ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.

ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.

චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දහසක් බලාපොරොත්තු මැද, අසීරුවෙන් මුදල්ද සොයාගෙන තම මව්බිම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණයට වගකිව යුත්තේ කවුරුන්ද?

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවය.

යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….

සිම්බාබ්වේ හා නැමීබියාවේ සමසත්කාරකත්වය යටතේ එළැඹෙන 2026 වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම් 16 අයි.සී.සී. ය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි කණ්ඩායම් මේ සඳහා ඍජුව සුදුසුකම් ලබා සිටියේය.

පසුගියවර ශූරයන් වන ඔස්ට්‍රේලියාව හා අනුශූරයන් වූ ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය, එංගලන්තය, අයර්ලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ බ.ඉ. කොදෙව් එලෙස සුදුසුකම් ලබාසිටි කණ්ඩායම්ය.

ඉතිරි කණ්ඩායම් 6න් එක් ස්ථානයක් සත්කාරක රටක් වන සිම්බාබ්වේට හිමිව ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ අවසන් රට අමෙරිකාව වන ඔවුන් අමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගැනීමට සමත් විය.

එමෙන්ම යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ද මේ සඳහා සුදුසුකම් ලබා සිටියි.

ඒ හැරෙන්නේ මහද්වීපික කලාප සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආසියානු කලාපයෙන් ඇෆ්ගනිස්තානයත්, නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපයෙන් ජපානයත් සුදුසුකම් ලබාගත්තේය.

ඊට අමතරව යුරෝපානු කලාපයෙන් ස්කොට්ලන්තය මෙලෙස සිය ස්ථාන තහවුරු කරගෙන සිටියි.

සත්කාරක රටක්වන නැමීබියාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පරාජය වූ හෙයින් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් නැත.

ඔවුන් සත්කාරක රටක් වුවද, පූර්ණ සාමාජික රටක් නම් පමණක් එම අවස්ථාව හිමිවන බැවින් ඔවුන්ට ඍජු සුදුසුකම් ලැබීමේ වාසිය අහිමි විය.

තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ICCය විසින් ඉදිරියේ දී  කාණ්ඩ හතරකට බෙදීමට නියමිත අතර, එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ  ඉහළම කණ්ඩායම් තුන සුපර් සික්ස් අදියරට පිවිසෙනු ඇත.

සුපර් සික්ස් අදියර කොටස් 2ක් යටතේ පැවැත්වෙන අතර, ඒ සෑම කාණ්ඩයකින්ම පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයේදී එකිනෙකාට මුහුණ දෙනු ඇත.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශූරතා 5කට ඉන්දියාව හිමිකම් කියන අතර, වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව ශූරතා 4කට හිමිකම් කියයි.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේ ජනවාරි- පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව ඇත.

රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.

මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතාව මලල ක්‍රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබාගත්තේය.

යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව  තිබේ.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.