T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, අදාළ තරග පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් අවසන් තීරණය ජනවාරි 10 වැනිදාට පෙර ගනු ලබන බවද ICC වැඩිදුරටත් සඳහන් කර ඇත.

වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….

T20 ලෝක කුසලානය වෙනුවෙන් හිටපු ඉන්දීය පිතිකරු වික්‍රම් රතෝර් ශ්‍රී ලංකාව විස්සයි 20 පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු ජනවාරි 15 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ වෙනු ඇති බව සඳහන්ය.

2024 දක්වා ඉන්දියාවේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන රතෝර් දැනට IPL රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.

පත්වීම් ලබා ගැනීමෙන් අනතුරුව, ඒ මහතා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සිය ප්‍රථම නිල හමුව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශාලාවේදී පවත්වන ලදී.

එහිදී මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ඒ මහතා නිලධාරීන් දැනුවත් කළේය.

පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් කණ්ඩාමව විසින් මිලදී ගැනු ලැබුවේය.

අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී පැතුම් නිස්සංකව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 04කටය.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියකදී ශ්‍රී ලංකික ක්‍රීඩකයකුට හිමි වූ ඉහළම වටිනාකම මතීෂ පතිරණට හිමිවිය.

ඒ ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලකට කොල්කට් නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදී ගනු ලැබීය.

එමෙන්ම දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබූවේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින්ය.

මීට අමතරව එම වෙන්දේසියේදී මේ වනවිට වැඩිම වටිනාකමක් හිමිව ඇත්තේ, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හටය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් කෝටි 25යි දශම දෙකකට ඔහු මිල දී ගෙන තිබුණි.

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (19) සමත්විය.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තුන්වැනි සහ අවසන් තරගය චීනයට එරෙහිව කොළඹ තුරග තරඟ පිටියේදී අද උදෑසන පැවැත්වුණි.

මෙම තරගය ලකුණු 34ට 07ක විශිෂ්ට ජය වාර්තා කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහභාගි වන කුසලාන අවසන් පූර්ව තරගය ප්‍රබල ජපානයට එරෙහිව අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.

ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….

2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත.

අවසන්වරට ඉකුත් සැප්තැම්බර් මස චීනයේ හැංෂෝ හිදී පැවති අදියරේ පිරිමි ශූරතාව දිනා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් විය.

එම අදියරේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිව්වන ස්ථානයට පත් වූ අතර, කාන්තා කණ්ඩායම 9වන  ස්ථානයට පත්විය.

මේ දක්වා පැවති තරග අනුව පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවන අතර, සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, කොරියාව, චීන තායිපේ, උස්බෙකිස්තානය හා සිංගප්පූරුව පළමු දසදෙනා අතර පසුවෙයි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ‘ C’ කාණ්ඩයෙන් තරගවදින අතර, ඊට චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්ව ඇත.

ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය දහවල් 12:40ට උස්බෙකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ඉන් අනතුරුව සිංගප්පූරුව සමගින් ප.ව. 5:04ටද, චීනය සමග රාත්‍රී 9:50ටද තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගය පෙ.ව. 10:28ට තායිලන්තයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරා විසින් මෙහෙයවනු ලබයි.

කාන්තා කණ්ඩායමට රන්දිකා කුමුදුමාලි නායකත්වය ලබාදේ.

මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට  ශ්‍රී ලංකා රග්බි සංගමය අවස්ථාව ලබා දී ඇත.

ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….

ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති  (සංශෝධන) පනත්  කෙටුම්පත  සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) සිය සහතිකය සටහන් කළේය.

අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ  විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින  ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් ලෙස සැලකේ.

ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (World Anti – Doping Agency- WADA) විසින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවලට සම්බන්ධ තහනම් උත්තේජක භාවිතය පිළිබඳ නීති සහ රෙගුලාසි වාර්ෂිකව නිරීක්ෂණය කරන අතර, ඒ අනුව නූතන ක්‍රීඩා අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නීති සහ රෙගුලාසිවලට අනුව පවතින පනත සංශෝධනය කිරීම මෙම පනත මගින් අපේක්ෂා කර ඇත.

ඒ අනුව ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත්  කෙටුම්පත,  2025 අංක 21 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.

පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,

“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා. 

ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන. 

පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..

ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.

මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.

2020 ඔලිම්පික් රන් පදක්කමත්, 2024 ඔලිම්පික් රිදී පදක්කමත් දිනාගත් දිනාගත් නීරාජ් චොප්රාට මෙම තරගයේ දී හිමි වූයේ 8වන ස්ථානයයි.

ඔහු මීටර 84.03ක දක්ෂතාවක් දැක්වීය.

එමෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා වන අර්ෂාද්ට මෙහිදී 10වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 82.75ක දක්ෂාවක්ය.

මෙහි රන් පදක්ම දිනාගැනීමට ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ  Keshorn WALCOTT සමත්විය.

ඔහු මීටර 88.16ක දක්ෂාතාවක් දැක්වීය.

රිදී පදක්කම මීටර 87.38ක දක්ෂාවක් දැක් වූ ග්‍රෙනඩාවේ Anderson PETERS හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ අමෙරිකාවේ Curtis THOMPSON (මී. 86.67) විසින්ය.

22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ලාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.

වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….

සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 5ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරග 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත් අතර, ඒ සමග ඔවුන් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (4) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 330ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 331ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 50 තුළදී රැස්කළ හැකිවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 325ක් පමණි.

මෙය වසර 27කට පසු එංගලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාව එරටදී එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.

ඔවුන් අවසන්වරට එංගලන්තයේ දී එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 1998 වසරේදීය.