නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී….

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.

එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථකථනය කිරීම ඉතිහාසයට එක් වූ අදහසක් බවත්, එය සැබැවින්ම වරප්‍රසාද හිමිවීමක් නොව වගකීමක් හිමිවීමක් බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන් නිලධාරින් රට තවදුරටත් ආර්ථික වශයෙන් ඉදිරියට රැගෙන යාම සඳහාද සහාය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි….

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඊට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ දී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩු අද දින කැඳවා තිබුණි.

කෙසේ වෙතත් මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ වරද පිළිගෙන මෙම නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට සඳහා තමන් කළ දැනුම් දීම ඉවත් කර ගන්නා බවය.

ඒ අනුව මෙම නඩු තව දුරටත් විභාගය සඳහා දින නියම කරන ලෙසත් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ නඩු විභාගය සඳහා නොවැම්බර් මස 19 සහ 25 යන දිනවල කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්…..

මෙම වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී ආරම්භ විය.

එහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
” මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා.. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා.. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න.. එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා.. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්‍යක වගකීමක්.. එමෙන්ම දෙවන කාරණය සාදාරණ වැටුපක් ලබා දීම.. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක.. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා”

සංශෝධනය වූ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වෙයි….

රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේදී නිකුත් කර ඇත.

පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණු අතර ඒ අනුව ඔහු එම අමාත්‍ය ධුරයේ එදින දිවුරුම් දුනි.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස  දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී දුන් අතර ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය ඒ අනුව මෙලෙස නිකුත් වී ඇත

අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි….

චීනයේ බීජිං හි  පැවැත්වෙන  “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්‍රාමාත්‍යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතය.

එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි  එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක්  අනාගතයක්: කාන්තාවන් සඳහා  නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

මෙම සංචාරයේදී  මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිතය.

කඳුකර ප්‍රජාවේ ප්‍රතිලාභී පවුල් 2,000කට නිවාස හිමිකම්…..

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය.

සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත.

ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂිත, පරිසර හිතකාමී, මූලික පහසුකම් සහිත නිවාස ලබාදීම මෙම වයාපෘතියේ අරමුණ වන අතර මෙමම නිවාස ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔස්සේ  ප්‍රතිලාභීන් තෝරා ගැනීම  විශේෂත්වයකි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්ද, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ප්‍රමුඛ ඉන්දීය රජයේ නියෝජිතයෝ  පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි….

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39 ක අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

එම අවස්ථාවේදී මීට පෙර අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට අදාළව සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අය වෙනුවෙන් පෙනී සිටි සංජේ රාජරත්නම් සහ නලින් ලද්දුව හෙට්ටි යන ජනාධිපති නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ල විසින් ලබාදන බව කී ලේඛන මෙතෙක් ලබාදී නොමැති බවය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන අධිකරණ කාර්යාලයට භාරදී ඇති බවත් ඒවා ඔවුන්ට එම කාර්යාලයෙන් ලබාගත හැකි බවත් සඳහන් කළේය.

එම ලේඛනවල පිටපතක්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා විසින් අධිකරණයටද බාර දුන්නේය.

එහිදී විත්තිය නීතිඥවරු අධිකරණය නොමග හැරීමට කටයුතු කරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

මෙහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම මගින් මීට පෙර පැවරූ නඩුවකට වරදකරු කෙරෙනු සේවාදායකයාට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙන බවත් එසේ වරදකරු කෙරුණු චෝදනා සහ මෙම නඩුවේ චෝදනා එක හා සමාන බවත් පෙන්වා දුන්නේය.

එසේ තිබියදී එක සමාන චෝදනාවලට යළිත් මේ ආකාරයෙන් නඩු පවරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ නඩුවේ අන්තර්ගත චෝදනාවලට වඩා වෙනස් චෝදනා මෙම නඩුවේ ඇතුළත් වන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ කාර්යාලයේ පවතින අදාළ ලේඛන ලබාගෙන ඒවායේ යම් අඩුපාඩු තිබේ නම් ඒවා මීළඟ නඩු දිනයට පෙර මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවට අදාළ මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා  ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

මීළඟ දින බන්ධනාගාරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විසුරුවරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 10වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී සිටියේ, මෙම නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විනිසුරුවරයා පාර්ශවකරුවන්ට අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ විනිසුරුවරයා, නඩු විභාගය දෙසැම්බර් මස 10 වනදා පැවැත්වීමට දින නියම කළේය.

2013 වසරේ සැප්තැම්බර් මස 21 සහ ඔක්තෝබර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රු. 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් බලපෑම් කිරීම හා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි නඩුව විභාගයට දිනදෙයි…..

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.

නඩුව අද (10) කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මේ දක්වා ලබාදී නොමැති බව සඳහන් කළේය.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කියා සිටියේ, අදාළ ලේඛන නොවැම්බර් මස තුන්වනදාට පෙර විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව දෙසැම්බර් මස 14 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය.

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනාකොට අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්…..

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.

දරුවන්ට දඬුවම් කර නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව තිබිය යුතු බවත් බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැතැයි ද උන්වහන්සේ පැවසීය.

“දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ. බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා.”