අගමැති හරිනි අද ඉන්දියාවට…..

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යු.එල් – 191ක දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප…..

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

නිශාන්ත උළුගේතැන්නට ඇප….

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරයා පසුගිය ජූලි මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානී රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් මොහොට්ටි ඇතුළු තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අගමැති සහ චීන අගමැති අතර හමුවක්…

මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය , බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී තිබේ.

මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළකර ඇත.

අග්‍රාමාත්‍යවරිය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර,  අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කළ නිවේදනයේ සඳහන් වේ.

ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියෙමුවෙකු ලෙස මෙන්ම දරිද්‍රතාවය අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව පැසසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව ගෙන යන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පැහැදිලි කර ඇත.

එමෙන්ම 2025 ජනවාරි මාසයේදී දියත් කරන ලද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තවතුරටත්  විස්තර කර තිබේ.

ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන අග්‍රාමාත්‍යවරයා හට පැහැදිලි කර ඇති අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කර ඇත.

චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කර තිබේ.

කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර ඇත.

පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය Li Qiang සමඟ සාකච්ඡා කළ බවත් චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ස්මාර්ට් පන්ති කාමර, ශිෂ්‍යත්ව, රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ පශ්චාත් උපාධි වැඩසටහන් සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග ඇතුළු අධ්‍යාපන අංශයේ සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ද මෙහිදී අවදානයට ලක්ව ඇත.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තහවුරු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය, බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව (Beijing Declaration and Platform for Action) සදහා සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර කාන්තා නායකත්වය, බලගැන්වීම,කාන්තාවන් සඳහා  සම අවස්ථා ලබා දීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික කැපවීම අවධාරණ කර තිබේ.

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කෙරේ…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත  මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

මනූෂ නානායක්කාර මහතා හෙට (15) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන බවත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදුකරන බවත් එම විමර්ශනය හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අධිකරණයට ඉදිරිපත් කළ සිය අපේක්ෂිත ඇප පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්….

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය.

වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී….

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.

එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, අමාත්‍ය ධුරයක් හිමි වීම වරප්‍රසාද හිමිවීමක් ලෙස අර්ථකථනය කිරීම ඉතිහාසයට එක් වූ අදහසක් බවත්, එය සැබැවින්ම වරප්‍රසාද හිමිවීමක් නොව වගකීමක් හිමිවීමක් බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකින් ගොඩ ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන් නිලධාරින් රට තවදුරටත් ආර්ථික වශයෙන් ඉදිරියට රැගෙන යාම සඳහාද සහාය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි….

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඊට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ දී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩු අද දින කැඳවා තිබුණි.

කෙසේ වෙතත් මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ වරද පිළිගෙන මෙම නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට සඳහා තමන් කළ දැනුම් දීම ඉවත් කර ගන්නා බවය.

ඒ අනුව මෙම නඩු තව දුරටත් විභාගය සඳහා දින නියම කරන ලෙසත් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ නඩු විභාගය සඳහා නොවැම්බර් මස 19 සහ 25 යන දිනවල කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

වතුකම්කරු වැටුප ඉහළ දමන බවට ජනපතිගෙන් සහතිකයක්…..

මෙම වසර තුළදී වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට එම හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී ආරම්භ විය.

එහිදී නිවාස හිමිකම් පත් ලබන ප්‍රතිලාභීන් 2000දෙනා සංකේතවත් කරමින් හිමිපත්කම් ප්‍රදානය ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
” මෙම මලයගම් ජන ප්‍රජාව විසින් ප්‍රබලතම වැඩ කොටසක් ඉටු කරනවා.. ඒ වගේම අවුරුදු 202ක් ඔවුන් මියයමින් ජීවත් වෙනවා.. ඒ නිසා ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඔවුන්ට මූලික වුවමනාවන් සහ සැපවත් ජීවිතක් ලබා දෙන්න.. එහිදී ක්ෂේත්‍ර කිහිපයක් ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා.. ඔවුන්ට නිවාසයක හිමිකම ලබා දීම රාජ්‍යක වගකීමක්.. එමෙන්ම දෙවන කාරණය සාදාරණ වැටුපක් ලබා දීම.. දිගු කාලෙක ඉඳන් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා 1,750ක වැටුපක් ලබා දෙන්න කියන එක.. අපි කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා”

සංශෝධනය වූ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වෙයි….

රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේදී නිකුත් කර ඇත.

පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණු අතර ඒ අනුව ඔහු එම අමාත්‍ය ධුරයේ එදින දිවුරුම් දුනි.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස  දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී දුන් අතර ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය ඒ අනුව මෙලෙස නිකුත් වී ඇත