අතුරු පාලක කමිටුව ඉවත් නොකළොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බව ජනපති පැවසුවා – ක්‍රීඩා ඇමති

තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ජනාධිපතිවරයා විසින් තමාව කැඳවා එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බවට ප්‍රකාශ කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව තමන් විසින් පත් කළ කමිටුව ඉවත් නොකරන බවත් ක්‍රීඩා නීතිය නොව තමාව ඉවත් කර තීන්දුවක් ගන්නා ලෙස එහිදී තමන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම තහනම් නියෝගය පැනවීමත් සමඟ නැවතත් දූෂකයින් පිරිසක් විසින් අද සිට ක්‍රිකට් ආයතනයේ වැඩ බාරගන්නා බවත් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එළඹෙන ​යල කන්නයේත් නියඟයක් ඇති විය හැකියි – කෘෂිකර්ම ඇමති

එළඹෙන යල කන්නයේදී ද නියඟයක් ඇති විය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පසුගිය කන්නයේ පැවතියටත් වඩා වැඩි නියඟයක් එළඹෙන යල කන්නයේ ඇතිවන බවට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අවධාන​ය

ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යා ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව කතානායක සහ සියලුම පක්ෂ නායකයන් ගේ අදහස් ලබා ගැනීමටත් අනතුරුව එකී අදහස් සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලි භාවය හා වෘත්තීය භාවය පිළිබඳ සහතික වීම, ව්‍යස්ථාදායකයේ සඵලත්වය ආදිය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65377e7de132d

ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වෙනකොට අපේ රටේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් – අනු​ර

ආණ්ඩු පෙරළියක් සිදුවන මැතිවරණ වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල උත්සහයක් දරමින් සිටියද එය වැළැක්වීමට ඔහුට නොහැකි වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට මහජනතාව ඉවසාගත නොහැකි තරමට පීඩාවට පත් වී ඇති බවද, ඔවුන් තවදුරටත් ඉවසා සිටින්නේ ලබන වසරේ ජාතික ඡන්දයට තව ඇත්තේ කෙටි කාලයක් බැවින්, එහිදී තම වැඩ පෙන්වීමේ බලාපොරොත්තුවෙන් බවද ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දය නොතියා බලයේ සිටීමට උත්සාහ කළහොත්, ව්‍යවස්ථානුකූලව ඔහුට බලයේ සිටිය හැකි කාලයවත් ඔහුට සිටිය නොහැකි වනු ඇති බවද, ඔහු ගෝඨාභය 02 බවට පත්වනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.

පවතින ව්‍යවස්ථාව අනුව ලබන වසරේ අගෝස්තු මාසයේදී මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතු බවද, එමනිසා ඔවුන් කුමන උත්සාහ දැරුවද ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට මෙරට අලුත් ආණ්ඩුවක් සහ අලුත් පාලනයක් ඇති වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත​ට

සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කර ඇති අතර ඔහු පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය රමේෂ් පතිරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

මීට අමතරව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය සඳහා මහින්ද අමරවීර පත්කර ඇති අතර දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊශ්‍රායල ගාසා යුධ ගැටුම ගැන පාර්ලිමේන්තු විවාදය අද

ගාසා යුධ ගැටුම්වලට සාමකාමි විසදුම් සඳහා ක්ෂණික මැදිහත්වීමක් සිදුකරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීම සඳහා වන කල්තැබීමේ විවාදයක් අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා එම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කිරීමටද නියමිතයි.

අජිත් මාන්නප්පෙරුමට සති 4 ක පාර්ලිමේන්තු තහනමක්

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

ඒ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තබයි

පාර්ලිමේන්තුව මිනිත්තු 10 කට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස සභාව කල් තැබීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම කතානායකවරයා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු වුණා.

නසීර් අහමඩ්ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා තෝරාගෙන තිබුණා.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වැඩසටහනේ එල්ල කර ඇති චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.