නිල්වලා ගඟේ ලවණ බාධක ගැටලුව විසඳීමට අවධානය

මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය අවිධිමත්ව ඉදිකිරිම හමුවේ පැන නැගි ඇති ගැටලු විසඳීමට මෙරට තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවේ නම් විදේශිය රටක තාක්ෂණික දැනුම ලබා ගෙන ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පානීය ජල ගැටලුවට විසඳුමක් ලබාදිමේ අරමුණින් නිල්වලා ගඟ හරහා ස්වයංක්‍රීය ලවණ බාධකයක් ඉදිකලද එය නිසි ප්‍රමිතියට සකස් නොකිරීමෙන් අදටත් එම වැසියන් ගැටලුවකට මුහුණ පා සිටියි.

ඒ  නියං කාලගුණයත් සමඟ නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිමෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන ජලය සීමා කිරීමට පියවර ගැනීමත් සමගයි.

මෙම ගැටලුව පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අවධානය යොමුව තිබුණි.

ඉන් අනතුරුව නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිම වලක්වාලමින් නිල්වලා ගගේ ඉදිකළ ලවණ බාධකය අසලින් කපා ඇති අතුරු ඇල වැලි කොට්ට දමා වසා දැමිමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සිට මාතර ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් එක්ව ජලසම්පාදන මණ්ඩලයේ අධීක්ෂණ යටතේ එම ස්ථානයේ වැලි කොට්ට ඇතිරිම ආරම්භ කෙරුණි.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට යළි CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

චාමර සම්පත්ගේ නඩු දෙකක් කල් යයි….

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඇති නඩු දෙකක් ජනවාරි 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එම නඩු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශනවල ප්‍රගතිය ජනවාරි මස 23 වනදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළේය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවට අයත්ව තිබූ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්ඉකුත් වීමට පෙර එම බැංකුවෙන් ඉවත්කරගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 173ක මුදලක් පාඩු කිරීමෙ චෝදනාව මත චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්……

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

අතුරලියේ රතන හිමි රිමාන්ඩ්…..

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට…..

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ…..

සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්ධනයට එරෙහි වීමට පෙල ගැසෙන ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කලේය.
රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිති වලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නියම වෙයි….

අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට තීන්දු කළ කොළඹ මහාධිකරණය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියම කළේය.

සිය සේවාදායකයා හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළ කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය වගඋත්තරකරුවන්ට නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ, කරුණු දක්වමින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ තිබූ
“වැලිගොව්වා” නමැති නෞකාව අවභාවිතා කළ බවට චෝදනා කරමින් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසුවේය.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් ජූලි මස 02 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් ලිපියක් එවා තිබුණද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එදින පෙනී සිටීමට නොහැකි වූ අතර ඒ පිළිබඳව එම කොමිසම වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා කටයුතු  කළ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඉන් පසුව නීතියෙන් තම සේවාව දායකයාට ලැබී තිබෙන අයිතිවාසිකම්වලට අනුව ඔහු විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ අතර එම අපේක්‍ෂිත ඇප පෙත්සම පසුව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ එම තීරණයට එරෙහිව තම සේවාදායකයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය විභාගයට ගැනීම සඳහා නොතිස් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

එසේ තිබියදී පසුගිය 12 වනදා අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් එම වරෙන්තුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන ආකාරය  නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි වරෙන්තුවක් ලබා ගැනීමට පෙර සාක්ෂි මෙහෙයවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා නමුත් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ නීතියේ සඳහන් කර තිබෙන ආකාරයට සාක්ෂි මෙහෙයවීමකින් තොරව බවත් චෝදනා කළේය.

ඒ අනුව ඉකුත් 12 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එමෙන්ම හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නොතීසි නිකුත් කර ඇති බවත් ඒ අනුව සිය සේවාදායකයා හෙට දින අනිවාර්යයෙන්ම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥවරයා මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව සියසේවාදායකයා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්විටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම පෙත්සමට අදාළව නොතීසි පමණක් නිකුත් කරන බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමටද නියම වුණි.

හිටපු ජනපති රනිල් තවමත් දැඩිසත්කාර ඒකකයේ….

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු රෝහලෙන් පිටව යන දිනයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂි කරුණු රැසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කර තිබු අතර එහි සඳහන් වී ඇත්තේ ඒ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බවය.

එමෙන්ම හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක් ද පවතින බව අධිකරණ හමුවේ වාර්තා කර තිබුණි.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවද හිටපු ජනාධිපතිවරයාට බරපතල ජීවිත අවධානමක් මතුව ඇතැයිද ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණි.