බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් දුන් සේවා දිගුව අවලංගු කිරීම ගැන ඇමතිට ප්‍රශංසා…

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදුන් සේවා දිගුව අවලංගු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපයට වෘත්තීය සමිති රැසක් විරෝධය පළ කර තිබූ බවය.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම්කාර්යාලයේ අධ්‍යක්ෂ පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව දන්වමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා පසුගියදා 15 වෙනිදා ලිපියක් යොමු කර තිබුණි.

ලබන වසරේ ජුනි 26 වෙනිදා දක්වා ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන අතර ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බව අමාත්‍යංශ ලේකම්වරයා එම ලිපියෙන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් පුබුදු නිරෝෂන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර ඇත.

ඊට අදාළව පසුගිය 22 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය දිර්ඝ කිරීම සඳහා තමන් කිසිදු ලෙසකින් අනුමැතියක් ලබා දී නොමැති බවය.

එවැනි දීර්ඝ කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීම ද වැරදි නිරූපණයක් ඇති කරන්නක් බව අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව පසුගිය 15 වැනිදා නිකුත් කර ඇති එම ලිපිය ඇතුළුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලූ ලිපියට ඉදිරි පියවර ගන්නැයි පොලිස්පති දැනුම්දීලා…

තමාට ආරක්ෂාව සලසන ලෙස වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 6 වනදා ලිපියක් යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි.

එම ලිපියට අදාළව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය සැප්තැම්බර් 12 වනදා යොමුකර තිබූ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපිය, මාතර – හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පසුව මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හා මිදිගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සඳහන් කළේ අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සොයාබලා ලසන්ත වික්‍රමසේකරට ආරක්ෂිතව සිටින ලෙස දැනුම් දුන් බවය.

මේ අතර වැලිගම සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බව ද පොලිසිය පවසයි.

වෙඩික්කරු බොහෝදුරට ආරක්ෂක අංශයකින් පලාගිය පුද්ගලයෙක් බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්න වික්‍රමසේකර මහතාව පසුගිය බදාදා ප්‍රාදේශීය සභාව තුළදී වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.

මේ වන විට සභාපතිවරයාගේ දේහය මිදිගම පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර ඇත.

මේ අතර ඝාතනයට අදාළ පරීක්ෂණ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.

පොලිස් කණ්ඩායම් 4ක් ඒ අනුව යොදවා ඇති අතර ඉන් දෙකක් සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

මත් උවදුරට තවදුරටත් ඉඩ තබන්නේ නැහැ – ජනපති…..

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමිනි.

එහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටුකිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් ඇති බවද ජනපතිවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර ඇති බවය.

රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භක උත්සවය ඔක්තෝබර් 30 වැනිදා පෙරවරු 10:00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති විරෝධය….

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් පැවසුවේ නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බවය.

වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්….

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අද (23)  පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ තිබුණි.

එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට, ගෙලට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.

මේ අතර  බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින මිදිගම රුවන්ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපල කරයි.

තමාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ලසන්න වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්ය.

හමුදා පරිහරණයේ තිබූ උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 700කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ…..

2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 706ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා සිටියේ, උතුරේ නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක් ද ඇතුළත් බවය.

අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවට ද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නැගෙනහිර පමණක් රජයේ ඉඩම් අක්කර 34.58ක් නිදහස් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රෝස පැහැ ගැන්වෙයි…..

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ට පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම අද (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක  රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට ද සංකේතාත්මක ලාංඡන පැළඳවීම සහ අත්පළඳනා ලබා දීම සිදු කෙරිණි.

තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අභියසදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පියයුරු පිළිකා මර්දනය පිළිබඳ දැනුවත් කිරීමට සහය පළ කිරීමේ ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම  සිදුවිය.

එසේම සංසදය විසින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන්ට ද ලාංඡන පැළඳවීම සිදුකෙරිණි.

අද මෙම වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණ තිබුණි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට සමගාමීව පියයුරු පිළිකා මර්දනය කිරී‍මේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ලොවපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව පියයුරු පිළිකාව වේ.  ඒ අනුව ශ්‍රී ලංකාවේ ද දිනකට නව රෝගීන් 15 ක් හදුනාගන්නා බවත් ඉන් 3 දෙනෙකු මිය යන බවත් මෙම අවස්ථාවට සහභාගීවූ වෛද්‍යවරියෝ සඳහන් කර ඇත.

පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි බවත්, ඒ සඳහා වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකිරීමේ අවශ්‍යතාවයත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයට පමණක් සීමා නොවී මේ පිළිබඳව දැනුවත් වෙමින් මෙම සමාජ ව්‍යසනය තුරන් කිරීමේ වගකීම කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. මේ පිළිබඳව මෙරට පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කොට ඇති බවත් ‘රෝස බදාදා’ නමින් විවිධ පාර්ශවවල සංවිධාන ශක්තියෙන් වැඩසටහන් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.

එසේම පාර්ලිමේන්තුවේ මෙම වැඩසටහනට සමගාමීව සියලුම පාසැල්වල උදය රැස්වීමේදී පාසැල් ළමුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලු විදුහල්පතිවරු දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංසදය විසින් ලිඛිතව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වී ඇත.

‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය…..

‘ශ්‍රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව 2025 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් මෙය යෝජනා කළේය.

මෙම වැඩසටහන මඟින් සංචාරක ආකර්ශනය දිනාගැනීමට බලාපොරොත්තු වන බවත් රු මි 300ක ප්‍රතිපාදන මේ සඳහා වෙන්කර ඇති අතර, අදාළ දින තුන තුළ දී එම මුදල උපයා ගැනීමට අපේක්ෂිත බව ද කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇත.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග හා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩ සටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩසටහන්වලින් සමන්විතව පැවැත්වීමට සූදානම් කර ඇත.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

සභාපති පුටුව උඩ අවසන් ගමන් ගිය මිදිගම ලසා – හරක් කටා එක්කත් සබඳතා පවත්වලා….

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග වැද එහි සභාපතිධූරයට පත්වුණි.

එහිදී සභාපති ධුරය දිනාගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ සමීපතමයෙක් බවට ඔහු හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණයෙන් ක්‍රියාත්මකය.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඔහුගේ කාර්යාලය තුළදීම අද (22) උදෑසන 10.30ට පමණ වෙඩි තබා ඝාතනය කෙරුණි.

සභාපතිවරයාගේ නිල කාමරය තුළට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අද සභාපතිවරයාගේ මහජන දිනයක් වූ බැවින් ඔහුව හමුවීම සඳහා මහජනතාවට වෙලාව වෙන් කර තිබූ බව පොලීසිය පවසයි.

වෙඩික්කරු ද සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදුපැහැති ඇඳුමකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැළඳ  ඔවුන් අතර රැඳී සිට තිබේ.

ඒ අතරතුර කාන්තාවක් සභාපතිවරයාගේ නිලකාමරයට ගොස් ඔහු ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට පැමිණීමේදී වෙඩික්කරු නිල කාමරය තුළට ඇතුළුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව වෙඩික්කරු යතුරුපැදියකින් පලාගොස් තිබේ.

සභාපතිවරයාගේ හිසට හා ගෙලට වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල සිදුව තිබුණි.

රැස්ව සිටි පිරිස සභාපතිවරයා කඩිනමින් රෝහල්ගත කළ නමුත්, රෝහල්ගත කිරීමෙන් පසුව සභාපතිවරයා මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ලසන්ත වික්‍රමසේකර මහතා 38 හැවිරිදි වියේ පසුවුණි.

වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

විස්කම් ප්‍රභා – 2025 ඇරඹෙයි…..

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන විස්කම් ප්‍රභා – 2025 ප්‍රදර්ශනය හා වෙළඳපොළ, බස්නාහිර පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ බිම් මහලේදී අද (21.10.2025) දින ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථාන 29ක දහසකට ආසන්න පුහුණුලාභී කාන්තා ව්‍යවසායකයන්ගෙන් තෝරගන්නා ලද ප්‍රදර්ශන භාන්ඩ 2000කට ආසන්න ප්‍රමාණයකින් විස්කම් ප්‍රභා – 2025 සමන්විත වනවා. ඔක්තෝබර් 21 සහ 22 දෙදින ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි සංවිධායක මණ්ඩලය පවසා සිටියේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමත්, කාන්තාවන් සවිබලගැන්වීමත් මෙහි අරමුණ වනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, බස්නාහිර පළාත් ආන්ඩුකාරවර හනීෆ් යූසුප් මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය නිළධාරීන්, බස්නාහිර පළාත් කාන්තා ව්‍යවසායකයින්, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.