ආණ්ඩුවට සහය දුන් කොළඹ නාගරික මන්ත්‍රීගේ ධුරය අහෝසි වෙයි…..

කොළඹ මහා නගර සභාවේ සභිකයෙකු වන මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරා මහත්මියගේ මන්ත්‍රීධුරය අහිමි කර තිබේ.

ඒ, පක්ෂය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කිරීම හේතුවෙනි.

ඇයගේ තනතුර අහෝසි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල මහත්මිය කටයුතු කර තිබේ.

ජොන්ස්ටන්ට එරෙහි සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 6……

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 6  කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ…..

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේදී අද (12) විවෘත කෙරිණි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානය හරහා දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම අරමුණු කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික වැඩසටහනක් වන “විදතා” වැඩසටහන යටතේ ගමට තාක්ෂණය පැවරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම භාවිතා කර ග්‍රාමීය ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ රට පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයන් වේ.

මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “විදතා” මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, එහි ඉදිරි පියවරක් ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කෙරේ.

නව මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව්‍යාපාරිකයින්ට තාක්ෂණික උපදේශන, පර්යේෂණ සහාය, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, වාණිජකරණ මඟපෙන්වීම ඇතුළු සේවා ලබාදීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශ නිලධාරීන් සහ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පූජ්‍ය කස්සප හිමිගේ නම පැවසූ ආකාරයේ ගැටලුවක් නිසා උණුසුම් වූ කැස්බෑව නගර සභාව….

කැස්බෑව නගර සභාවේ මාසික රැස්වීම අද (12) පැවැති අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඒ කැස්බෑව නගර සභාවේ බලය හිමි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් රැස්වීමේදී අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නම සඳහන් කරන අවස්ථාවේ  “බලංගොඩ කස්සප” ලෙස ආමන්ත්‍රණය කිරීම හේතුවෙන්ය

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නම නිවැරදි ආකාරයෙන් සඳහන් කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බව සඳහන් වාර්තා වෙයි.

මෙම සිදුවීම හේතුවෙන් විපක්ෂයේ සර්ව ජන බලය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සභාව වර්ජනය කර ඉන් පිටව ගොස් තිබුණි.

පසුව සෙසු විපක්ෂ සභිකයින් ද සභාවෙන් පිටව ගොස් නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි…..

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇප ලබාදීමකින් තොරව නඩු විභාගය අවසන් වනතෙක් රඳවා ගැනීමට අදාළ නීති සම්පාදනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මාතර පැවති වැඩසටහනකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා,

“ලංකාවට මත්ද්‍රව්‍ය සපයන උදවිය අත්අඩංගුවට ගත්තට පස්සේ ඇප නොදී නඩු විභාගය අවසන් වනතුරු තබා ගත හැකිද යන කරණාය අපි ඉදිරිපිට සාකච්ඡා වෙමින් තියෙනවා. ඒකත් අපි සැලකිල්ලට අරගෙන තියෙනවා. එළැඹෙන 19 වනදා පාර්ලිමේන්තුවට ගෙන එන විෂ අභිං පනතට සංශෝධනයක් අරගෙන එනවා වඩා ප්‍රබල කරන්න. නීති ප්‍රතිසංස්කරණ පැත්තෙන් විශාල ලෙස මේකට මැදිහත් වෙමින් තියෙනවා. අපි දැනටම පනතක් සම්මත කරගෙන තිබෙනවා අපරාධයකින් උත්පාදිත වූ ධනය සොයන්න පොලීසිය ඒකට ක්‍රියාත්මක වෙලා තිබෙනවා.”

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් EU නියෝජිතයින් අතර සාකච්ඡාවක්….

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වනදා දක්වා යොමු කළ හැකි අතර එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  ඉදිරි කටයුතු සිදු කරන බවද  යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත.

ඊයේ (10) පැවති මෙම සාකච්ඡාව සඳහා යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි Ms. Paola Pampaloni,ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාමෙන් මොරේනෝ, යුරෝපා කොමිසමේ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් හා මැදපෙරදිග/ගල්ෆ්, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව යන අංශවල වැඩබලන ප්‍රධානී ජෑන් හොස්කින්ස් ,කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ දේශපාලන අංශ ප්‍රධානී/ නියෝජ්‍ය නියෝජිත ප්‍රධානී ගලිජා අගිසේවා, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ASIAPAC.6 අංශයේ ශ්‍රී ලංකාව සඳහා  නිලධාරී ඈන් වැන්හවුට්, යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ කොළඹ සහයෝගිතා ප්‍රධානී ජොහාන් හෙසේ මහතා , යුරෝපීය කොමිසමේ INTPA අධ්‍යක්ෂ ජනරාල් කාර්යාල නිලධාරී පීටර්ස් තියඩෝර් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහභාගි වී තිබේ.

බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා සේම අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කරනවා – නාමල්….

තමන් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින බවත්, බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී සිටීම ජාතිවාදය නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පා.ම. නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියේ, තමන් සිංහල බෞද්ධ වුවත්, අනෙක් සංස්කෘතීන්, භාෂා මෙන්ම ආගම් ආරක්ෂා කිරීමටද කටයුතු කරන බවය.

“අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා.

බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී ඉන්න එක ජාතිවාදය නෙමෙයි. 

ඒ වගේම, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය සේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන්න අපි පෙනී සිටිනවා. මේ රට ගොඩනැගිලා තියෙන්නේ බෞද්ධ පදනම මත. ඒ රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා. ඒ හින්දා අපි බයක් නෑ. 

මම සිංහල බෞද්ධ තමයි. ඒ වගේම අනිත් සංස්කෘති ආරක්ෂා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මට මගේ සංස්කෘතිය මගේ දහම විශ්වාස නිසා.

ඉතින් ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බෑ” යනුවෙන්ද ඔහු පැවසීය.

“ආණ්ඩුව තීන්දු කරන්න ඕන ඡන්දේ තියනවද, නැත්නම් මාව හිරේ දාලා ඡන්දෙකට යනවද, ඊට කලින් ඡන්දයකට යනවද කියලා. ඔය දෙක අතර දෙගඩියාවෙන් ඉන්නේ. ආණ්ඩුව මට ඇඟිල්ල දිගු කරලා හරියන්නෙ නෑ. 

මම විශ්වාස කරනවා නායකයෝ බිහිවෙන්න ඕන. ජනතාව හොඳ කෙනෙක් තෝරාගනී. මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා. අවසානයේ නායකයෝ නැති, වෙනත් අය විසින් මෙහෙයවන රූකඩ චරිත නායකත්වයට බිහිවෙයි.
ඒ හින්දාදේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ හැමෝම ඊළඟ නායකත්වයට සූදානම් වෙන්න ඕන. ජනතාව හොඳ පුද්ගලයෙක් පත්කරගනී”
 යනුවෙන්ද ඔහු පැවසීය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තවදුරටත් ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කර තිබේ.

එමෙන්ම එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… පසුගිය නඩු දිනයේ මෙහි සැකකරුවන් යන, එන අවස්ථාවේ අධිකරණයේ ගේට්ටුව අසල පිරිසක් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියා. ඇතැම් නීතිඥවරු සහ දේශපාලකයින් මේ නඩුව ගැන ප්‍රකාශ සිදුකළා මාධ්‍යවලට. එහිදී අත්හිටවූ සිර දඬුවම් නියම වී සිටි පුද්ගලයෙකු මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කළා. එම පුද්ගලයා රජයේ සේවකයන් බිය ගන්වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා. ස්වාමීනි.. මේ නඩුවේ සියලු සාක්ෂිකරුවන් රජයේ සේවකයින්. මේ හරහා නඩුවේ සාක්ෂිකරුවන් බිය ගැන්වීමට උත්සාහ කර තිබෙනවා. ඒ හරහා අපිට සහ විමර්ශන නිලධාරීන් බිය ගැන්වීමට කටයුතු කර තිබෙනවා. ස්වාමීනි.. ඔබතුමාගේ අධිකරණයට පැමිණෙන්නේ බොහෝ විට සුදු කරපටි අපරාධකාරයින්. එනිසා මම ඉල්ලීමක් කරනවා මීළඟ දිනයේ මේ නඩුව කැඳවන විට ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට” යනුවෙන් පැවසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා ”මේ ඉල්ලීම පිළිබඳව අධිකරණය සලකා බලනවා. අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඕනම පුරවැසියෙකුට අයිතිවාසිකම් තිබෙනවා. එය සීමා කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ පමණයි. රජයේ සේවකයින්ට හා නිලධාරීන්ට බලපෑම් එල්ල නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සියලු දෙනා වගබලාගත යුතුයි” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා “ස්වාමීනී.. මේ දෙවන සැකකාර සමන් ඒකනායක නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එහිදී මේ සැකකරු ප්‍රකාශ කර තිබෙනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය transit එකක් බවට. හිටපු ජනාධිපතිවරයා තම බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගි වීම සඳහා එහි ගිය බව තමන් දැන නොසිටි බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ නම සොමිසාර ඒකනායක කියලා මම පසුගියදා අධිකරණය හමුවේ පැවසුවා. ඒ ගැන බොහෝ අය අපහාසයට ලක් කරල තිබුණා. මම ඔහුගේ නම සඳහන් කළේ අපහාස කිරීමේ අරමුණින් නෙවෙයි. හොඳ සිංහල නම්වලට අපි ගරු කරනවා. ඒ සම්බන්ධයෙන් ඔහුට අපහසුතාවයක් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. ඔහුගේ ප්‍රකාශය ඔහු සඳහන් කර තිබෙනවා නිවසේදී වගේම විශ්වවිද්‍යාල මිත්‍රයින් අතර ඔහුට සමන් ඒකනායක කියා ආමන්ත්‍රණය කරනවා කියලා. සැකකරු ප්‍රශ්නගත විදේශ සංචාරයට අදාළ ලේඛනයක යම්කිසි රවුමක් යොදා තිබෙනවා. ඔහු තමයි එම ලිපියේ තිබුණු ප්‍රයිවට් විසිට් කියන කොටස හලලා ඒකට official විසිට් කියන කෑල්ල දැම්මේ. එම ලේඛනයේ ඔහු රවුමක් යොදා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔහුගේ අත්අකුරු පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ අනුව ඔහුගේ අත් අකුරු සාම්පල රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර පතනවා” යනුවෙන් දිලීප පිරිස් මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ අත්අකුරු සාම්පල රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කර තිබේ.

මේ අතර තවත් දැනුම්දීමක් අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පසුගියදා අධිකරණය කළ නියෝගයකට අනුව මෙම විමර්ශනයට අදාළ ප්‍රශ්න නවයක් ඇතුළත් ප්‍රශ්නාවලියක් බ්‍රිතාන්‍යයේ වුල්හැම්ටන් විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවත් ඊට පිළිතුරු මේ දක්වා ලැබී නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය. ”ස්වාමීනි… මගේ සේවා දායකයා අවුරුදු තිස් නවයක පළ පුරුද්දක් සහිත රාජ්‍ය සේවකයෙක්. ඔහු යම්කිසි ලේඛනයක රවුමක් යෙදූ බව පැමිණිල්ල ප්‍රකාශ කළා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ස්වාමීනි.. මේ සංචාරයට අදාළ ලිපිය මුලින්ම එවන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති සරෝජා සිරිසේන විසින්. එම ලිපිය එන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට. මේ සැකකරුට මේ ලිපිය ලැබෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් මස 7වනදා. ජනාධිපතිවරයාගේ මේ සංචාරයට අවශ්‍ය බජට් එක සකස් කරල තිබෙන්නේ සරෝජා සිරිසේන. ඊට අවශ්‍ය කටයුතුවලට පෞද්ගලික සමාගම තෝරගෙන තිබෙන්නෙත් සරෝජා සිරිසේන විසින්. ඇය තමයි බජට් එක එවලා තිබෙන්නේ. ඒක අනුමත කිරීම පමණයි මේ සැකකරු කරල තිබෙන්නේ. ඔහුට වෙන විකල්පයක් නෑ. ඔහු අනුමත කළ යුතුයි. මේ තුළින් ඔහු අයුතු ලාභයක් ලබාගෙන නෑ. ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරයක් කරලත් නෑ.  2023 සහ 2024 වසර වලට අදාල විගණකාධිපතිවරයාගේ වාර්තාවෙනුත් මේ ගෙවීම අනුමත කර තිබෙනවා. කිසිදු ආකාරයක වංක චේතනාවකින් කටයුතු කර නෑ” එබැවින් මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා “ස්වාමීනි… මේ සැකකරු දූෂිත පුද්ගලයෙක් කියලා මම කියන්නේ නෑ. එහෙත් මොහු බරපතළ අපරාධකරුවෙකුගේ ස්වරූපය තමයි ක්‍රියා කර තිබෙන්නේ. මේ ගමනට අදාල බජට් එක අනුමත කළේ සරෝජා සිරිසේන කියලා සැකකරුගේ නීතිඥ මහතා කිව්වා. මේ ප්‍රශ්න ගත ගමන සිදු වෙන්නේ රට ආර්ථික අර්බුදයට ලක්වෙලා රට බංකොලොත් කියලා නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කර තිබෙන අවස්ථාවක. මේ ගමනේදී පැය තිස් හයක් සඳහා රුපියල් ලක්ෂ 162කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. පැයකට පන් ලක්ෂයට අධික මුදලක් වැය කර තිබෙනවා. මේ වගේ විශාල බජට් එකක් එව්වම ඒවා අනුමත කරන්න කලින් මේ සැකකරු අහන්න තිබුණා මෙච්චර මුදලක් ඉල්ලන්නේ ඇයි කියලා. ඔහු පලපුරුදු රාජ්‍ය සේවකයෙක් නම් ඒ ආකාරයෙන් තමයි කටයුතු කළ යුත්තේ. පසුව මේ ගමන පුද්ගලික සංචාරයක් බව දැන ගත්තට පස්සේ ඒ මුදල ජනාධිපතිවරයාගෙන් අය කරගන්න ඔහුට හැකියාව තිබුණා. නමුත් ඔහු එහෙම කටයුතු කරල නෑ. පලපුරුදු රාජ්‍ය සේවකයන් කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා නීති විරෝධී ගෙවීමකට තමයි ඔහු තමන්ගේ රාජ්‍ය මුද්‍රාව තබා තිබෙන්නේ. ඒ වගේම මේ සැකකරු පසුගියදා රිමාන්ඩ් භාරයට රැගෙන යන අවස්ථාවේදීම ඔහු අත්දෙක උස්සමින් ජනමාධ්‍යවලට ප්‍රකාශ කළා “ජයවේවා” කියලා. ඔහු ජයවේවා කිව්වේ කාටද ? සැකකරුවෙකු මෙහෙම කටයුතු කරන්නේ කොහොමද? ඒ නිසා මෙම ඇප ඉල්ලීමට අපි තරයේ විරුද්ධ වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකළ මහේස්ත්‍රාත්වරයා “පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කළ විට ඔහුගේ අයිතිවාසිකම් සීමා වෙනවා. එනිසා රිමාන්ඩ් භාරයට පත්කළ පුද්ගලයෙකුට මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නෑ. එවැනි තත්ත්වයක් ඇති වුවොත් අධිකරණයට සිදුවෙනවා නිසි පියවර ගන්න.” යනුවෙන් පැවසුවේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා “මේ ප්‍රශ්නගත සංචාරයට සහභාගි වූ මෛත්‍රී වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය මේ සංචාරයේදී රාජ්‍ය මුදල් අවභාවිතා කර තිබේදැයි විමර්ශනයක් සිදු කරන ලෙස මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තිබෙනවා” යනුවෙන් සඳහන් කළේය.

දෙපාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ”සාමාන්‍ය නිතිය යටතේ සැකකරුවකට ඇප නියම කිරීමේදී හේතු ප්‍රකාශ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පොදු දේපළ පනත යටතේ ඇප සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීමේදී හේතු ප්‍රකාශයට පත් කිරීම අවශ්‍යයි. ඒ අනුව මේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම ලබන 18වනදා දක්වා කල් තබනවා.” යනුවෙන් පැවසුවේය.

ඒ අනුව සැකකාර සමන් ඒකනායක මහතා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළේය.

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම….

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (11) මෙම නියෝගය ලබා දුනි.

2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කෙරිණි.

අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියේය.

එහිදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබීය.

එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබීය.

ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කළේය.

අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.

මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තැබීය.

අග්‍රාමාත්‍යවරිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිතයින් අතර හමුවක්….

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිතයින් අතර හමුවක් පෙබරවාරි 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.

යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, සංවර්ධන සහ ආර්ථික හවුල්කරුවෙකු ලෙස යුරෝපා සංගමයේ කාර්යභාරය පිළිබඳ සඳහන් කළා ය.

යුරෝපා සංගමය ලබා දෙනා අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, මෑත කාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් රට නැවත ගොඩ නැගීමට යුරෝපා සංගමය ලබා දුන් සහාය සඳහා ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළා ය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු වූ අතර ආර්ථික කටයුතු, වෙළඳාම සහ ආයෝජනය සඳහා පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

ආර්ථික ස්ථාවරත්වය, පාලනය ශක්තිමත් කිරීම සහ තිරසාර වර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ද මෙහදී අග්‍රාමාත්‍යවරිය නියෝජිත පිරිස දැනුවත් කළා ය.

මෙම අවස්ථාවට යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂ, ඒකාබද්ධ කොමිසමේ යුරෝපා සංගම් සම සභාපති, Paola Pampaloni, යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් නියෝජිත දූත පිරිසේ ප්‍රධානී Carmen Moreno සහ යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙන්ම අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.