අත්සන් කළ ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් 07 බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ….

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාදනය සඳහා රුපියල් මිලියන 500ක්…..

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයට අනුබද්ධ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම කාර්යාලයේ අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය පසුගියදා විෂය භාර ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා. 2025 අයවැයෙන් රුපියල් මිලියන 200ක් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාදන අරමුදලින් රුපියල් මිලියන 300ක් වශයන් රුපියල් මිලියන 500ක් මේ වසරේ වැඩිහිටි පුද්ගලයන්ගේ සුබසාදනය සඳහා රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

▲ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ පනත කාලීන අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සංශෝධනය කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

▲ වැඩිහිටි තැනැත්තන් සඳහා වන සුබසාධන කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාම.

▲ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් කතරගම ප්‍රදේශයේ ඉදිකිරීම.

▲ සියළුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්තාන නව මාර්ගෝපදේශන අනූව ලියාපදිංචි කිරීම.

වැනි කරුණු පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍යවරයා සඳහන් කළේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි සියළුම වැඩිහිටියන් සඳහා සුව පහසු ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් උරුමකර දීම වෙනුවෙන් වගකිය යුතු ප්‍රධාන අමාත්‍යංශය ලෙස හා ආයතනය ලෙස විශාල වගකීමක් පැවරී තිබෙන බවයි. ඒ වෙනුවෙන් සියළු දෙනා කැප විය යුතු බවද වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු එම කාර්යාලයේ සියළුම නිළධාරීන් එම අවස්තාවට සභාගිව සිටියා.

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුවක් කැඳවීමට දිනදෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට එම නඩුව ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමත් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

විත්තිකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙන නිසා ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලීම් කළේය.

ඒ අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

2006 වසරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලන්ඩන් නුවර සංවිධානය කළ ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට සහභාගි වී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් භාණ්ඩාගාර රෙගුලාසිවලට පටහැනිව ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් අල්ලස් පනතේ “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇත.

ට්‍රම්ප්ගේ තීරුබදු අනුපාත වෙනස් කිරීම සම්බන්ධව එජාපයෙන් රජයට ප්‍රශංසාවක්….

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය.

ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේඑජාපය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්……

 

 

525546892_1342437087241795_7060992263072895385_n

 

ගෙවුණු මාස 06ට පොලිස් නිලධාරීන් 300ගේ වැඩ තහනම් කරලා……

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

”මේ මාස 6ට විතරක් 300ක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. 

සමහර අය අවුරුදු 25ක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. 

අපේ පාලක ජෙනරාල්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට… මුලට තියෙනවා වැඩබලන කියලා. 

ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා, පොලිස්පතිවරයා සිරගතවෙලා ඇප පිට ඉන්නවා, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගතවෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. 

දැන් මේ ප්‍රධාන ආයතනවල ඉන්නේ වැඩ බලන තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ?. අපි ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත්, ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත්…එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. 

ඒ හින්දා අපි රජයක් හැටියටත්, තරාතිරම කුමක් වුවත් ඒ හැම තරාතිරමක කෙනෙකු නීතිවිරෝධි කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය.

ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර……

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමදාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබිණි.

මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

ඒ අනුව එම තීන්දුව බල රහිතකර විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය මගින් පනවන ලද මරණීය දණ්ඩනය යළි නියම කරන ලෙසත් එම අභියාචනාවලින් ඉල්ලා ඇත.

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනපති දිවයිනට….

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)  රාත්‍රියේ දිවයිනට පැමිණියේය.ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය.  

 මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය.මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනිණි.

 ජනාධිපතිවරයා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් කුරුම්බා මෝල්ඩිව්ස්නිවාඩු නිකේතනයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි.

 මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ජනාධිපතිවරයා විසින් පැළයක් රෝපණය කරන ලදී.එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතීය.වසර 60ක් පුරා දෙරට අතර දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතා සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම  පිළිබඳව මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කෙරිණි. ඒ අනුව, දෙරට අතර සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක් වූහ.

හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට……

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ත්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු  ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවයේ නිරත වූ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු  වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ  අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකිර් යන අයට එරෙහිව අල්ලස්කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණි.

සුදත්ත තිලකසිරිට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්….

හිටපු අමාත‍ය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින් සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා පෙනී සිටියා. නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යලි කැදවීමට නියමිතයි.

ලලිත් – කුගන් සිද්ධියට සාක්ෂි දීමට හිටපු ජනපති ගෝඨාභය සුදානම්……

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් ‘කෝපුස් නඩුකරයට’ අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය.

මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දී ඇත්තේ, මෙම ඉල්ලීම අද සිට සති හතරක් තුළ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන් වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නුවන් බෝපගේ මහතාද ඒකකතාවය පළකළේය.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

2011 වසරේ දෙසැම්බර් මස 9 වනදා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුකරයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ දී එවක හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබුණි.

ආරක්ෂක හේතුන් මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සම විභාග කළ අභියාචනාදීකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි දීම සඳහා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය…