2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්….

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පෙරවරුවේ පැවැත්විණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව වෙන් වෙන්ව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා රජය සතු ඉඩම්වල පවතින ව්‍යාකූලතා කඩිනමින් නිරවුල් කර ගනිමින් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට ප්‍රමුඛතාව දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර  පුළුල් ලෙස ආර්ථිකයට දායක කර ගැනීමේ ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කරන සහ ග්‍රාමීය ජනතාව ආර්ථිකයට ඒකාබද්ධ කරන රජයේ ප්‍රධාන වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම දේශීය කිරි නිෂ්පාදනය හා සත්ව ගොවිපොළ යන ක්ෂේත්‍ර කර්මාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දී ඇත.

ව්‍යාපෘති සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තෙදින නිල සංචාරය අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටව යයි….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියාය.

මෙම නිල සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරය මහත්මිය හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අවධානය යොමු විය.

එසේම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටි කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් එක් විය.

මෙම පිටත්ව යාමේ අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී…..

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේගේද සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් හමුවූ අග්‍රාමාත්‍යවරිය…….

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත.

ඊයේ පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ  පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන් සිය විශේෂ අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,
”අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු ‍වුණොත් ඒක රටට ලොකු විනාශයක්.”

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි….

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.‍

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වසර 75කට වඩා වැඩි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගිතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඕස්ට්‍රේලියාව සූදානම් බව අග්‍රාණ්ඩුකාරවරිය විසින් අවධාරණය කරන ලදී.

මෙම සංචාරයෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, සුනාමි ව්‍යසනයේදී මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදීද ඕස්ට්‍රේලියානු රජය සෘජුව මෙන්ම, ජාත්‍යන්තර ආයතන හරහා ලබා දුන් සහයෝගය සිහිපත් කර සිටියේය. එසේම, ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන, ආරක්ෂක, සංචාරක, සමුද්‍රීය කටයුතුවලදී ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහායද  ජනාධිපතිවරයා මෙහිදී අගය කළේය.

ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ රැකියා, අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු ආදිය සඳහා මධ්‍යස්ථානයක් බවට පත් වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට බොහෝ දේ ඉගෙන ගත හැකි බවත්, එම අත්දැකීම් සාර්ථකව බෙදා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉතාම හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වනු ලබන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමටත් නියමිතය.

ඕස්ට්‍රේලියානු දූත පිරිස සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

අගමැතිනිය පැවසූ ‘චිචීගේ රොකට්ටුවේ’ දත්ත වැරදියි – ඇමති වසන්ත කියයි….

රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් යවනු ලැබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරිය විසින් ඊයේ (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කරුණුවල දත්තවල යම් වැරැද්දක් සිදුව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එහිදී අමාත්‍යවරයා අද (07) රැස්වූ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ BOI සමාගමක් විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවයි.

පොදුවේ “චීචීගේ රොකට්ටුව” ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් සොයාගෙන ඇති බවයි.

දැනට පවතින දත්ත අනුව, සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම 2012 මැයි මාසයේදී චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ විදුලි සංදේශ සේවා සැපයීමට BOI සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ව්‍යාපෘතිය එම වසරේම නොවැම්බර් මාසයේදී දියත් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2012 දී සමාගම රුපියල් බිලියන 12.14ක් වත්කම් ලෙස ප්‍රකාශ කර ඇති බවත්, 2013 සහ 2014 මූල්‍ය වාර්තාවල බදු දීමේ පදනම මත ලබාගත් චන්ද්‍රිකාවක් සඳහා රුපියල් මිලියන 12ක ආයෝජනයක් පෙන්නුම් කරන බවයි.

නමුත් 2014 සහ 2015 මූල්‍ය වාර්තාවල කලින් ප්‍රකාශ කළ වත්කම්, වගකීම් සහ ආයෝජන පිළිබඳ විස්තර අඩංගු නොවන බව පෙන්වා දුන් ඔහු, චන්ද්‍රිකාවේ පිහිටීම ද සොයාගත නොහැකි බව පැවසුවා.

අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ජනපතිගේ කීර්ති නාමය පළුදු කළ බවට සමාජ මාධ්‍ය පෝස්ටුවකට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කාන්තාවක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය පළ කිරීමකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නීතිඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හා චරිතයට හානි කිරීමේ අරමුණින් මෙම අසත්‍ය සහ අපහාසාත්මක කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බවට එහි සඳහන් වෙන්නේ.

එම පැමිණිල්ල මගින්, මෙම පදනම් විරහිත සහ නොමග යවනසුලු සටහන් පළ කළ සමාජ මාධ්‍ය ගිණුම්වල හිමිකරුවන් පිළිබඳව විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සඳහන් වෙන්නේ.

අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ -ජනපති

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය.

මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.

ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”

ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත්කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට….

ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය තෙදින නිල සංචාරයකට දිවයිනට….

තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඔඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.