ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි….

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී අද (14) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබදතා තර කරගැනීම පිළිබදව අවධානය යොමුකරමින් කලාපයේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා මෙන්ම ගෝලීය අර්බුද අවස්ථාවන්වල එක්ව කටයුතු කරමින් ඒවා විසදා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කර ඇත.

එහිදී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ සමීප මිත්‍ර රටක් ලෙස ඕමානය සමග සම්බන්ධතා ඉතා ඉහළින් අගය කරන බවත් මෙරට තුළ ඇති විවිධ ආයෝජන අවස්ථා සැළකිල්ලට ගෙන බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා එක්වන ලෙසය.

ශ්‍රී ලංකාව තුළ උදාවී ඇති යහපත් වාතාවරණය පිළිබදව තමන් දැනුවත් බවත් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පිළිබදව අවධානය යොමුකරමින් තම රජයට හා පෞද්ගලික අංශයට ඒ පිළිබදව දැනුවත් කිරීම් කිරීමට පියවර ගන්නා බවත් දෙරට අතර සබදතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඕමානයේද අපේක්ෂාව වන බවත් මෙහිදී අදහස් දැක්වූ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා ද පවසා සිටියේය.

රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්‍….

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16 සහ 23 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

‘AI for Transforming Public Service’ යන මැයෙන් පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් පැවත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙහි පළමු වැඩසටහන පසුගිය දා ජනාධිපති කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වුණු අතර දෙවන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තෙවන වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්විණි.

සෙසු සියලු අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ඉදිරි වැඩමුළු මාලාව සංවිධානය කර තිබෙන අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු එහි සම්පත් දායකයන් ලෙස එක්වෙති.

ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු එලියට එයි…..

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.

ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.

මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.

යතුරුපැදිකරුට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.

පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇත.

ඒ සමග ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ දරූවද එයද අසාර්ථක වී තිබේ.

අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.

එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.

ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.

කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.

එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’  46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.

ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය….

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරයි.

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය….

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.” 

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”

ජාත්‍යන්තර තොරතුරු අනුවත් ශ්‍රී ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් නැහැ – ඇමති නලින්ද…..

ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය යටතේ චන්ද්‍රිකාවක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (12) කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

”ලෝකයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය. ඉන්ටර්නැෂනල් ටෙලිකොම්නිකේෂන් යුනියන් (International Telecommunication Union) නැත්නම් අයි ටී යූ එක. මේ අයි ටී යූ එකෙන් තමයි මේ සම්බන්ධ තාක්ෂණික සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ.

එම අයි ටී යූ ආයතනය චන්ද්‍රිකාවක් ගොනුගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර තුනකින් සමන්විත වන බව කියලා තියෙනවා. පළවෙනි එක තමයි සැලසුම් කර ඇති චන්ද්‍රිකා ජාලය තාක්ෂණික තොරතුරු අදාළ පරිපාලන ආයතනය විසින් අයි ටී යූ වෙත ඉදිරිපත් කිරීම. දෙවනුව මෙම ඉදිරිපත් කරන තොරතුරු විසින් අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ සන්නිවේදන බාධා වළක්වා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීම. තුන්වෙනුව ලියාපදිංචි කිරීම සහ ජාත්‍යන්තර පිළිගැනීම් සඳහා අවසාන පැරාමිතීන් දැනුම් දීම. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් මේ ලෝකෙම පිළිගත්ත, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම සඳහා පිළිගත්ත සම්මත ක්‍රමවේදය. මේ සඳහා අවම වසර තුනක් සාමාන්‍යයෙන් උපරිම වසර හතක් ගතවෙනවා. අන්න ඒ ක්‍රියාවලිය මෙම අයි ටී යූ කියන ආයතනයේ ලංකාවේ සාමාජිකත්වය දරන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව. ඒ අනුව අපට මේ භූස්ථාපන කක්ෂවල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙනවා එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන ස්ථාන දෙක. භූ කක්ෂ පනහා සහ එකසිය විසි එකයි දශම පහ තමයි ලංකාවට හිමි වෙලා තියෙන්නේ. හැබැයි මේ එකේ තිබෙන තොරතුරු අනුව මේ ස්ථාන අපිට වෙන් වෙලා තිබෙන අතරෙම මෙන්න මේ රටවලට, ඇෆ්ගනිස්ථානය, කිරිකිස්ථානය, මොල්දෝවා, නේපාලය, ටග්ගනිස්තා සහ රොමේනියා වගේ රටවලටත් අවශ්‍ය නම් බාධාවකින් තොරව මේ ස්ථානවල ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අයි ටී යූ එකේ තියෙන තොරතුරු අනුව දැනට මේ එකසිය විසි එකයි දශම පහ සහ පනහ කියන භූස්ථාන කක්ෂවල ලංකාව නමින් චන්ද්‍රිකාවක් නැහැ. ඊට පස්සේ මේ අයි ටී යූ එක හරහා අපි හොයලා බැලුවා සුප්‍රීම් සැට් වන් නමින් චන්ද්‍රිකාවක් පවත්වනවාද කියලා. එහෙම එහෙකුත් නැහැ. සුප්‍රීම් සැට් වන් එක පස්සේ කාලෙක චයිනාස් ඇට් ටුවෙල් කියලා නම් කරා කියලා වාර්තා කරලා තියෙනවා. මේ ලංකාවට අදාළ ස්ථානයේ කක්ෂස්ථානයේ චයිනා සැට්වෙල් එකත් අයි ටී යූ වෙබ් සයිට් එක අනුව සඳහන් වෙන්නේ නැහැ. මේ සුප්‍රීම් සැට් වන් නමින් හෝ චයින සැට් ටුවෙල් නමින් මේ කියන ලංකාවට අයිති කක්ෂස්ථානවල කිසිවක් වාර්තා වෙන්නේ නැති බව තමයි  අයි ටී යූ එක වාර්තා කරන්නේ.”

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු ප්‍රාස මන්ත්‍රී මරුට……

අද (12) දහවල් මීගොඩ, ආටිගල මාවතේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාස මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර සිටිය දී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු 46 හැවිරිදි වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හා යොදාගත් ගිනිඅවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර සිට ඇතැයි ද අනාවරණය වී තිබේ.

මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි…..

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට අද භාර දී තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවය.

ඒ අනුව ඔහුට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද ඔහු පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණියේය.

එහිදී එම පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අයුරුද දක්නට ලැබුණි.

මෙහිදී විරෝධතාවට එක්වූ විරෝධතාකරුවන් පෙන්වා දෙනුයේ පවතින ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ලබා දුන් පොරාන්දු මේ වන විට කඩ කර ඇති බවය.

දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බවත් රජය විසින් එම රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබා දෙන බව මින් පෙර පැවසූ පොරොන්දු මේ වන විඩ කඩ කර ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය දයා ලංකාපුරට…..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා ලංකාපුර මහතා පත් කර තිබේ.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශය පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.