ඇතැම් ඖෂධ හිඟ බව සෞඛ්‍ය ඇමති කියයි….

පසුගිය රජයේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීම හේතුවෙන් වර්තමානයේ රට තුළ ඇතැම් ඖෂධවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට පවතින ඖෂධ හිඟය මගහරවා ගැනීම සදහා ප්‍රදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3,500ක මුදලක් රෝහල් සදහා වෙන්කර ඇති බවය.

“ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීමේ ප්‍රතිඵලය තමයි දැන් ඖෂධ සැපයෙන්නේ නැති ප්‍රශ්නේ. ගිය අවුරුද්දේ ටෙන්ඩර් කරලා තිබුණා නම් හරියට ඖෂධ එනවා. අපි දැන් ලබන වසර සඳහා ටෙන්ඩර් කරලා තියෙනවා. දැන් ඇති වෙලා තියෙන තාවකාලික ඖෂධ හිඟයට එකක් අපි රෝහල්වලට රුපියල් කෝටි 3,500ක් වෙන් කරලා තියෙනවා ප්‍රාදේශීය මිලදී ගැනීම් කරන්න. දෙවැනි එක විටින් විට අපි සමහර රටවල් එක්ක සාකච්ඡා කරලා පරිත්‍යාග හැටියට මේක ලබා ගන්නවා සමහර රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ එ්කෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා.”

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

සමන් ඒකනායකටත් වැඩවරදින ලකුණු…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති පොලිසීයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට අත්අඩංගුවට ගැනීමට ද නියමිත යන්නය.

විමර්ශන ඉදිරියට සිදුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ද කාලිංග ජයසිංහ මහතා පැවසීය.

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේදී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහා 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබුණි.

එම සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවතට දිවයිනට පැමිණීමට පෙර  ලන්ඩන් නුවරට ගොස් තිබුණේ, සිය බිරියවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීම සඳහාය.

එම ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් යොමුකර තිබුණි.

කෙසේ වෙතත් අදාළ සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවී ඇති බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් හා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ලබාගනු ලැබීය.

අනතුරුව වික්‍රමසිංහ මහතාට ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

ඒ අනුව ඔහු ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.

එහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාව දහවල් 1.15ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය‍ නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි……

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදුකරනු ලැබුවාය.

මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දෙන්න ලැබීය.

ඒ අනුව මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළාය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට විරුද්ධව මෙම නඩුකරය ඉදිරිපත් කර තිබේ.

ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක් – මහින්දත් එක්වෙයි……

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

අද (23) දහවල් 12ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී ඇති බව වාර්තා වෙයි

සුදත්තගේ යූටියුබ් ප්‍රකාශයට විමර්ශනයක් ඉල්ලා එජාපයෙන් CIDයට පැමිණිල්ලක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූ ටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට  0සුදත්ත තිලකසිරි යන අය විසින් ඊයේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට  ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්  පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් පිරිසක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර, සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

එසේ වූයේනම් අප පාරිශුද්ධත්වයෙන් සලකන නීතිය හා සාමය හුදෙක් පහත් රංගනයක් බවට පත්වන ශෝකජනක දිනයක් උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා තැබූ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

යූටියුබ් සුදාගේ ප්‍රකාශයට සජිත්ගෙන් X සටහනක්….

හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබේ.

එමගින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ මෙවැනි ප්‍රකාශ අහම්බයක් විය නොහැකි බවත් මෙවැනි සිදුවීම් සැලසුම් සහගතව සිදුකළ එකක් විය හැකි බවය.

එමෙන්ම නීතිය හා සාමාය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස හෙළා දකින බවද විපක්ෂනායකවරයාගේ X සටහනේ සඳහන්ව තිබේ.

හිටපු ජනපති බලන්න දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමියට….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පාක්ෂිකයින් විශාල පිරිසක් ද මේ වනවිට අධිකරණ භූමියට රැස්ව සිටී.

රනිල් වික්‍රමසිංහ මහතාව අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ එම භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය…..

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවය.

කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද පැවසීය.

ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මාස 8 – 10ක් වැනි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවත්, අපනයන ආදායම ඉහළ ගොස් දේශීය ආදායම වැඩි වී ඇති බවත්, උද්ධමනය පාලනය වී, සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසීය.

සුබ සාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත් පැවසු අමාත්‍යවරයා, සෑමවිටම වින්දිතයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.