තුසිත හල්ලොලුවට ඇප….

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇත.

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්විස්ට්සර්ලන්ත පාර්ලිමේන්තු නියෝජිතයෝ හමුවෙති…..

ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස එරට පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ තානාපති ක්ලෝඩියෝ ෆිෂර් හමුවිය. පසුගිය සැප්තැම්බර් 15 දා ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටි එරට පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවිය.

අනතුරුව දූත පිරිස ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ජාතික සභාව නියෝජනය කරන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය හමුවූහ.

මෙහිදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක අවස්ථාව සිදුවූ අතර එහි සභාපතිත්වය මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය දැරීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ශ්‍රී ලංකා-ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු කථිකාචාර්ය කබිලන් සුන්දර්මූර්ති ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්වී සිටියහ.

තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක්….

සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද පියවර ගත් බවය.

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

ගම්මන්පිලගේ පෙත්සමක් සලකාබැලීමට දිනයක් දෙයි….

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවය.

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි….

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්  පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිට විත්තියේ නීතිඥවරු දැන් කරුණු ඉදිරිපත් කරති.

නාමල් රාජපක්ෂ සහ සන්තෝෂ් ජා අතර හමුවක්…..

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.

එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්  ඉදිරියටත් දෙරට අතර පවතින හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්….

මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.

චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල නිවස භාරදීමට කටයුතු කරන බව පසුගියදා පැවසීය.

හිටපු ජනපති මහින්දගෙන් සංවේදී ෆේස්බුක් සටහනක්…..

හැඟීම්වලින් රටවැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමා කාල්ටන් නිවසට පැමිණි මොහොතේ සිට මේ දක්වා තමා වෙත පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහා සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාවය පිරිනමන බවය.

– උපුටාගැනීම –

මාගේ ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුනේ ජනතාව අතරය. අද ද එසේමය. ධුර කාලයක් අවසන් විය හැකිය, නමුත් ජනතා ආදරය ධුර කාලය ඉක්මවයි. එය අවසන් නොවේ. බලය ඇති දා මෙන්ම බලය නොමැති දා ද ජනතාව මහින්ද රාජපක්ෂ සමඟ සිටියහ. 

හිතවත්කම්, බැදීම් ගමේ අපිට හුරුය. කුඩා දරුවන්ගේ කතාබහ මා සතුටට පත් කරයි. කුඩා දරුවන් කතා බස් කරන්නේ හිටපු ජනාධිපති කෙනෙකු සමඟ නොවන නිසාම මෙම කතා බහ රසවත්ය. එනිසාම මම එය විඳිමි. 

හැගීම් වලින් රට වැසියන් සමඟ බැඳී නොමැති දේශපාලකයෙක්ට කිසිදා ජනතා නායකයෙකු විය නොහැක. 

කාල්ටන් නිවසට පැමිණි දින සිට මේ මොහොත දක්වාම පැමිණ ආශිර්වාද කරනු ලබන ගෞරවණීය මහ සංඝරත්නයට නමස්කාර පූර්වක කෘතඥතාව පිරිනමමි. එමෙන්ම පැමිණ සුව දුක් විමසන ආදරණීය ජනතාවට ද, දේශපාලන සගයින්ට ද, විවිධ වෘත්තිකයින්ට ද මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. 

ජාති ආගම් භේදයක් නොමැතිව ජන බලය කේන්ද්‍ර වූ ජනතා නායකයෙකු ද, ඔබේ අසල්වැසියෙකු ද, ඔබේ සමීපතමයෙකු ද වීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙමි.

– උපුටාගැනීම අවසන් –

නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්….

තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කළ බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රකාශය නිර්මාණය කළ හා සමාජ මාධ්‍ය හරහා එය ප්‍රචාරය කළ පාර්ශවයන්ට එරෙහිව සිවිල් හා අපරාධ නීතීය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.

කොළඹ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මිලදීගෙන ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සිදුව තිබුණි.

අදාළ ප්‍රචාරය සම්බන්ධයෙන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්‍ය සහ අවලාදාත්මක ප්‍රචාරයක් බවය.

එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර පක්ෂය ද මහජනතාව ද තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට අබමල් රේණුවකින් හානියක් සිදුවන කටයුත්තක් තමා විසින් සිදුකර නොමැති බවද ඔහු පවසයි.

නීතීඥවරයෙකු ලෙස ද, දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙසද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් තමා අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටින අතර, එම නිදහස දුෂ්ඨ ලෙස අවභාවිතා කිරීම, එය දිනාගැනීමට අනේකවිධ කැපකිරීම් සිදුකළ සියලු ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කෙරෙන අවමානයක් බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පෙන්වා දෙයි.

අදාළ ද්වේශ සහගත සහ අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් හඳුනාගනු ලබන පාර්ශවයන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් සටහනින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පොලීසියේ ස්වාධීනත්වයට රජය බාධා නොකරන බව අගමැතිනිය කියයි….

පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.

84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා,  පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”ක්‍රීඩාව, සහභාගිත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නෙමෙයි, නිරෝගීමත් විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමට අතිශය වැදගත්. ජයග්‍රහණය, කීර්තිය සහ අභිමානය ගේනවා වගේම සහභාගීත්වය විසින් නිරෝගී ජාතියක් බිහිකරමින් විනයගරුක, ශක්තිමත් පෞරුෂයක් සහ උසස් මනෝ භාවයක් ඇති මිනිසුන් නිර්මාණය කරනවා. මහජනතාව සමග කටයුතු කරන පොලිස් සේවයට විනය, පෞරුෂය වගේම යහපත් මනෝභාවයක් පැවතීම ඉතාම වැදගත්. ඒනිසා පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙල ජාතික තලයේ ක්‍රීඩකයින් බිහි කිරීමට වගේම ඔබේ වෘත්තීය ගෞරවය වර්ධනය කරගැනීමටත්,  වෘත්තීය වටිනාකම වර්ධනයටත් බලපාන බව මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වැනි සිහින බිඳ වැටී තිබුණ රටක ක්‍රීඩාවෙන් ලබා ගත හැකි බොහෝ දේ පැවතියත් ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා පසුපසින් බව මම මතක් කරන්න අවශ්‍යයි.

අතීතයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකිය යුතු මට්ටමක පැවතුණා. නමුත් මෑත ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව යම් පසුබෑමකට ලක්වී තිබෙනවා. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ජාතියට කීර්තියක් හා අභිමානයක් ගෙන ඒමට සමත් ඒ  වගේම නිරෝගී හා විනය ගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අපේ රජයේ අරමුණක්. පොලිස් සේවාව පිලිබඳ යම් අදහසක් පැවසීමටත් මම මෙය අවස්ථාවක් කර ගන්න කැමතියි. රටේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමේදී මහජනතාවට වඩාත් සමීප ආයතනය ලෙස පොලීසිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්ම වන ආකාරය සමාජයට පිළිඹිඹු වන වැදගත්ම සාධකයක් වන්නේ පොලිසියේ ස්වාධීන හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව ඇති පොදු මහජන මතය වන්නේ දේශපාලන හෝ වෙනත් සමාජ සම්බන්ධතාවයක් හෝ මුල්‍ය ප්‍රදානයක් නොමැතිව සේවය ලබා ගැනීමට නොහැකි ආයතනයක් ලෙසයි. ඒ මතය වෙනස් කර ගන්න ඔබේ විනය, නීතිගරුක බව සහ සාධාරණ ලෙස රාජකාරි සිදු කිරීම ඉතා වැදගත්.”