තිස්ස කුට්ටිට සාගරගෙන් දැඩි අවවාදයක්….

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

ඒ, තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට සඳහන් කරමිනි.

ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

සම්පත් මනම්පේරි රිමාන්ඩ්….

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

ඒ අනුව ඔහු මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළැඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණි.

මීට අමතරව අදාළ ඉඩමේ තිබී හමුවූ අවි ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි නමැත්තා ඔක්තෝබර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙසද වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පසුගිය 17 වනද දහවල් සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාර වුණි.

පසුව ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබාදී තිබුණි.

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක්ද එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

මහජන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…..

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව ද පැවසීය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.”

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට….

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්….

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව නඩුව ඔක්තෝබර් මස 15 කැඳවීමටද නියම විය.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ජනපති හෙට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමටද නියමිතය.

ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්….

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එළැඹෙන සඳුදා (22) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.

එම නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇත.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.

එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්….

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.

ඒ අනුව රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.