තාජුඩීන් ඝාතනය වූ රථයට පිටුපස රථයේ කජ්ජා සිට ඇතැයි අනාවරණයක්……

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා අද අනාවරණ කළේය.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීය.

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයට නුදුරින් දැවී ගිය මෝටර් රථයක් තුළ තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සිරුර හමුව තිබුණේ 2012 වසරේ මැයි 17 වෙනිදාය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මුල් අවස්ථාවේ විමර්ශන තුළින් එම මරණය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බවට පොලිසිය පැවසුවද එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඥාතීන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු 2015 වසරේදී තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යළි විමර්ශන ඇරඹි අතර 2015 ජුලි 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නේ තජුඩීන්ගේ මරණය මිනී මැරුමක් යැයි කරුණු අනාවරණය වී ඇති බවය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත බස්නාහිර පළාත් භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණත් පසුව ඇප මත මුදාහැරුණි.

කෙසේ වෙතත් අනුර සේනානායක සහ ආනන්ද සමරසේකර යන සැකකරුවන් නීති කෘත්‍යය ක්‍රියාත්මකවන අතරවාරයේ මියගියේය.

මෙවන් වාතාවරණයක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රවෘත්ති සාකච්චාවක් පවත්වමින් තජුඩීන් සිද්ධියේ විමර්ශන ගැන කරුණු අනාවරණයක් කළේය.

කජ්ජාගේ බිරිඳට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වන ලද  තාජුඩීන් හැව්ලොක් සිටි සංකීර්ණය අසළ වෙළෙඳසැලකින් වතුර බෝතලයක් මිලට ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන නරඹා ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී තාජුඩීන් පිටුපස සිට ඇති පුද්ගලයා තම ස්වාමියා බවය.

ඇය එලෙස එම පුද්ගලයා නිසැකවම තම සැමියා වන කජ්ජා බවට හඳුනාගෙන ඇත්තේ ඔහුට දීර්ඝ කාලයක පටන් තිබූ කොන්දේ අමාරුවක් හේතුවෙන් සහ ඔහුගේ ඉරියව් හේතුවෙන් බවය.

වතුර බෝතලය මිලට ගැනීමෙන් අනතුරුව තාජුඩීන් පිටුපසින් පැමිණි සැකකටයතු වාහනයකට කජ්ජා අත දමා ගොඩ වී ඇති බවත් ඉන් විනාඩි 20කට පසු තාජුඩීන් ඝාතනය සිදුවූ බවත් බිරිඳ ප්‍රකාශ ලබාදෙමින් පවසා තිබේ.

ඒක අත්වැරදීමක් – ඇමති හඳුන්නෙත්ති….

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදි නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවය.

කෙසේ නමුත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේදි තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්,

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කනගාටු වෙමි.”

රෝහිතගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ රාජිතගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි….

ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්…..

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරවරයාට නියම කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්  පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේදී…..

ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇති ජාතික තත්ත්ව යටිතල පද්ධතියක් ඉදිරියේ දී සංවර්ධනය කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය  සමඟ සහයෝගීතාවෙන් හා යුරෝපා සංගමයේ තාක්ෂණික දායකත්වයෙන් සංවිධානය කළ නියාමන බලපෑම් ඇගයීම සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීම හා සංවර්ධනය පිළිබඳ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (29) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනක් ලෙස ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් 2025 වර්ෂයට අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ඹෟෂධ, ආහාර ඇතුළු මෙරට නිපදවන භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම මෙන්ම ආනයන හා අපනයන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් ගුණාත්මක යාන්ත්‍රණයක් නිර්මාණය මින් ආපේක්ෂා කරනු ඇත.

ප්‍රමිතීන්, නිවැරදි මිනුම්, අනුකූලතාව සහ සහතික කිරීම යන මූලික ස්ථර හතරක් මත මෙම පද්ධතිය පෙළගස්වා ඇති අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීම හා සම්බන්ධකරණයෙන් කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය සහ පේෂකර්ම දෙපාර්තමේන්තුව මෙම වැඩසටහනට දායකත්වය දෙන සෙසු ආයතන ලෙස නම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අපනයන ආර්ථිකයක් සංවර්ධනය කිරීම රජයේ ඉලක්කය වන බවත් එම කාර්යයේදී නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අනුකූලතාවන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය වන බවය.

ඒ සඳහා වර්තමානයේ භාවිත කරන ක්‍රමවේදයන්ට වඩා දියුණු හා ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක තත්ත්ව පද්ධතියක් සංවර්ධනය සඳහා රජය රුපියල් මිලියන 750ක් වෙන් කර ඇති බවත් ඒ හරහා වගකිව යුතු ආයතනවල පරීක්ෂණාගාර උපකරණ ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මන්ත්‍රී අර්චුනා රාමනාතන්ට ඇප හිමිවෙයි…

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (29) කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබේ.

ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි…

ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාර ගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

රජයේ සුවපත් රටක් උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනගත කිරීමට නියමිත අතර ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙසද නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවතිය බවත් එම අභියෝග ජයගෙන සුවතාවට පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා සියලු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය පවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයද ලබා දෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර සහන, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුප්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමක සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමටද නියමිත අතර ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේනික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය.

 ගාල්ල – රවීන්ද්‍ර

ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්…

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.

අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ.

ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත.

මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබේ.

ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

මෙම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

ජනපතිගේ ජපාන සංචාරය අදින් ඇරඹේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.

තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත.

ඊට අමතරව ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි….

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට දැනුම් දුනි.

මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතය.