ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට ඇමති විජිත දිවයිනෙන් පිටත්ව යයි….

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය.

එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  නියමිතය.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට…..

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.

ඒ මහතා අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි…..

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ,

“අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වනපරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.”

“එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාළ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.”

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

02

මහින්දානන්දට නලින්ට එරෙහි නඩුව කල් යයි…..

පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් මේ වනවිට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ අද (04) දින නියම කළේය.

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී සිරදඬුවම් නියමවී බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු  බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකදී හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණය ඉදිරිපත් කළ යුතු බවය.

නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් මෙහිදී විනිසුරුවරයා අවධාරණය කළේය.

ඒ අනුව විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්….

යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම 30 වසරක යුද්ධය මෙරට ඉතිහාසයේ සිදුවු විශාලතම ඛේදවාචකය වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වූ බවත් පැවසු ජනාධිපතිවරයා, උතුරේ සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වූ බව ද කියා සිටියේය.

පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාව එම තත්ත්වය පරාජයට පත්කළ බවත්, අද වනවිට යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩනඟමින් දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද  සඳහන් කළ ජනාධිපතිවරයා, ආණ්ඩුව සෑමවිටම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉතාම තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් බිය නොවන බවත් පැවසීය.

“මට මතකයි පහුගිය මැතිවරණයේ දී මේ ආසන්නයට ඇවිත් මේ ජනතාව මුණගැහුණා. අපිට අවශ්‍යයි යළි විනාශයට පත්වී තිබෙන මේ ප්‍රදේශ සහ ජනතාවට ජීවය කැටුව ඒමේ උවමනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජනතාව ප්‍රබල ඉදිරි පියවරක් තබලා අපි ගැන විශ්වාසය තබලා තියෙනවා. ඔවුන් ඉතාමත් ශක්තිමත් ඉදිරි පියවරක් ආරම්භ කරලා තියෙනවා. අප හමුවේ තියෙන අභියෝගය කුමක් ද ? අපි කෙරේ විශ්වාසය තැබූ ජනතාව, ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා කේෂ්ත්‍ර කිහිපයක අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා.

දෙවනුව ඔවුන්ගේ ආර්ථික තලය ඉහළට ඔසවා තැබිය යුතුයි. පසුගිය ගැටුම් හේතුවෙන් විශාල ආර්ථික අවස්ථා අහිමිවූ ජනතාවක් මෙම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීම රජයක් ලෙස අපේ වගකීමක්. අපි එය භාරගැනීමට ලෑස්තියි. ඒ සඳහා අපි පියවර ගණනාවක් ආරම්භ කළා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප, උතුරු කේන්ද්‍ර කරගත් සංචාරක කේෂ්ත්‍රය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඒ වගේම ඒ ප්‍රධානම සාධකය තමා ආර්ථිකය නංවාලීමට පොල් වගාව ආරම්භ කිරීම. 

මෙම අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා අක්කර 16,000ක් මේ වසරේ වගා කරන්න. ආසන්න වශයෙන් ගොවි පවුල් 12,000ක් පමණ මේ තුළ නියෝජනය කරාවි. එය ආර්ථිකයෙන් ඉතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ආර්ථිකය නඟාසිටුවීමට විශාල පිටුවහලක් බවට පත්වෙන බව අපට විශ්වාසයි. අනිත් පියවර වන්නේ සංස්කෘතිකමය වශයෙන් අප තුළ ඇති කරගන්නා වූ ඒකාබද්ධතාවය. ඒ සඳහා අපි සියලුදෙනා එක්ව සැමරිය හැකි දිනයක් අපි නම්කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපි වෙහෙසෙනවා. යළි බෙදී ඈත් වෙලා හිටිය ජනතාව යළි ඒකාබද්ධ කරගැනීමට අපි වෙහෙසෙනවා. අපිට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ රටක් ද? මෙතෙන බොහෝ අය ජීවිතය ගත කළේ යුද්ධය සමග.එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර 30කට වඩා යුද්ධ කරලා තියෙනවා. එය අපේ රටේ ඇති වූ විශාලතම ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වුණා. බෙදුනා. ඒ තත්ත්වයන් සමග ජාතිවාදී දේශපාලනය ගොඩනැගුණා. උතුරු සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වුණා. එම තත්ත්වය තමා පහුගිය මැතිවරණවලදී මේ රටේ ජනතාව පරාජයට පත් කළේ. උතුරේත් දකුණේත් තමන්ගේ අහිමිවූ බලය ආරක්ෂා කරගැනීමට ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවයන්ගේ කුඩා නැගිටිලි, කෙඳිරිලි අපි දකිමින් තියෙනවා.

ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිවිටෙක පොදු ජනයාට සේවයක් සපයා නෑ. උතුරේ ජාතිවාදය දේශපාලනඥයින්ගේ මෙවලමක්. දකුණේ පැනනඟින ජාතිවාදය දේශපාලන මෙවලමක්. පරාජය වුණු කණ්ඩායම් උපයෝගී කරගන්නා ඉතාම විනාශකාරී මෙවලමක්. ඒ නිසා අප ඔබට ආණ්ඩුවක් ලෙස එකක් සහකික කරනවා. ආණ්ඩුවක් ලෙස අපි යළි ජාතිවාදී දේශපාලනයට මේ රටේ ඉඩ තබන්නේ නෑ. ඒ වගේම මා විශ්වාස කරනවා ජනතාව ලෙස ඔබත් කොතැනක කුමන ආකාරයකින් පැනනැඟුණත් මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. 

අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් ඔවුන් උතුර ගැන කල්පනා කරන්නේ, යුද්ධයක් ගැන අනියත බියක් නිරන්තරයෙන් ගොඩනගමින්, කොළඹ නගරයේ ආයුධ හම්බවෙනවා, වෙඩිතියා ගන්නවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකථනය කරනවා. උතුරේ එහෙම වුණොත් එය යුද්ධයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ උතුර ගැන නිරන්තරයෙන් අනියත යුද බිමක් නිර්මාණය කරන දේශපාලනයක් තියෙනවා. සියලු සැලසුම්, සටන් පාඨ ඔක්කෝම සකස් කරන්නේ යුද්ධයක් ගැන අනියත බිමක් පෙන්නවමින්. අපේ ආණ්ඩුව සැමවිටම කටයුතු කරන්නේ යළි උතුරේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ. කුමන හෝ ඉඩක් තියෙනවා නම් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න ඒ ඉඩ ඇහිරීම ගැනයි අපේ දේශපාලනය. ඒක තමා අපේ ආණ්ඩුවේ අරමුණ. නැවත අනියත බියක් ඇති කිරීම නෙමෙයි. සමගිය ඇති කිරීමේ අරමුණින් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ සඳහා ගත හැකි ඉතාම ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ. පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ. “

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

“මෙවර අපි 74 වන සංවත්සරය සමරන්නේ, පක්ෂ මුලස්ථානයේ. ඒ සඳහා අපි ආසන සංවිධායකවරු, ඒ වගේම පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා අපි ආරාධනා කරලා තියෙනවා. මං හිතන්නේ පහුගිය කාලයේ දේශපාලනය ගැන කතා කරොත් සියලුම දේශපාලන පක්ෂ දැන් නැවත ප්‍රතිසංවිධානය කරමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි සංවත්සරයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම, ආසන බලමණ්ඩල සංවත්සරයෙන් පසුව ආරම්භ කරන්න සුදානම් වෙනවා.”

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක….

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා….

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම මෙම යෝජනාවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනා කෙරෙණු ඇත.

ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මෙම තත්ත්වය තුළ මෙවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනය වෙනස් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලනය විචාරකයින් සඳහන් කර සිටී.

ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්……

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය.

අතුරලියේ රතන හිමි රිමාන්ඩ්…..

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.