NPPයට බලය හිමි හබරාදුව ප්‍රා.ස. සභාපති ඉල්ලා අස්වෙයි…..

ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.

පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්……

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර තිබේ.

මෙම සහතිකය ලබා දී ඇත්තේ ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදීය.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී මෙම හමුව පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එහිදී ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ වනවිට ලෝක ආර්ථික සංසදයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතව සිටී.

ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න වෙලා – බිමල් රත්නායක…..

හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ‘බාලදක්‍ෂ මාවත’ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයනවා.

කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්. 

එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා. මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිමකරන්න සැලසුම් කර තිබූ එකක්.
නමුත් ආර්ථික අර්බුදය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා. පොලිස්පතිතුමා සමඟ අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකි වුණා.

රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා. මේ ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කිරීම ජනතාවට විශාල පහසුවක් වගේම ප්‍රයෝජනයක්. 

මෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට සහයෝගය ලබාදුන් පොලිස් දෙපාර්තමේන්තුවටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පළ කරනවා.”

වත්මන් පාලනය තුළ ජාතිවාදී ගැටුම් අවම බව ජනපති තෛපොංගල් දින සැමරුමේදී කියයි…..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවුණු කාලය ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම හා ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වලම වූ කාලය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, යාපනය වේලනෛහි පැවති තෛපොංගල් උත්සවයක් අමතමිනි.

“දෙමළ ජනතාවගේ වැදගත්ම සංස්කෘතික දිනය වන තෛපොංගල් දිනයේදී මටත් ඔබ සමඟ එක් වීමට ලැබීම භාග්‍යයක් කොට  සලකනවා. 

ඒ වගේම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව අද තමයි නව වසර උදා වන්නේ. නව වසරකින් අපි සියලුදෙනාට නව ප්‍රාර්ථනා, නව බලාපොරොත්තු ඇති වෙනවා. විශේෂයෙන් ජනතාව ලෙස ඔබට විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇති. 

ඒ වගේම රටක් ලෙස අපට නව බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව වන්නේ තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි. 

අපි පොහොසත් රටක් කියන්නේ ධනයෙන් ඉදිකිරීම්වලින් පමණක් පොහොසත් රටක් නොවෙයි. ඊට වඩා විශාල අංශ ගණනාවකින් පොහොසත් රටක් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත්ව දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. එම වසර ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම, ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වල වූ සහ ජාතික සමගිය වෙනුවෙන් පොරබැදී වසරක්. වෙනදා අපේ රටේ බොහෝ ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතා පැන නගිනවා. අපිට අවශ්‍ය ජාතිවාදයෙන් තොර ජාතික සමඟිය පිරුණු පොහොසත් රටක්. 

කුමන තැනක ඉපදුණත්, කුමන භාෂාව කතා කළත්, කුමන ආගමක් ඇදහුවත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස, අයිතින් සමඟ ජීවත්වීමේ වටපිටාව සකස් කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ වගේම අප අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වීමට සහ ජනතාව අතර විශ්වාසය ඇති වීමට සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතා වැදගත්. අපි එවන් රටක් ගොඩනැගිය යුතුයි. එය අපේ අපේක්ෂාව බවට පත්ව තිබෙනවා. 

ඒ වගේම ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කර දිය යුතුයි. විශේෂයෙන් හොඳ නිවසක් ලබා දීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කර හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම ආණ්ඩුවක් ලෙස අප තුළ තිබෙන අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි.

මම දන්නවා මෙහි සිටින බොහෝ අය පසුගිය මහ මැතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තැබුවා. මේ යාපනයේ දිස්ත්‍රික්කය ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කළා. ඒ කියන්නේ ඔබ අප කෙරෙහි විශ්වාස තබා තිබෙනවා. මම ඔබට සහතික වෙනවා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටීමට ඉඩ නොතබා ජාතිවාදයෙන් තොර, ජාතික සමගිය පිරුණු රටක් නිර්මාණය කරනවා කියලා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා. අපි කාටත් සතුටින් සිටිය හැකි රටක් අපි හදනවා. ඔබ සියලුදෙනාගේ අපේක්ෂාව එයයි. එම අපේක්ෂාව ඉටු කිරීම වෙනුවෙන් අපි නොපිරිහෙළා වගකීම් ඉටු කරන බවට මම ඔබට සහතික වෙනවා. 

මෙම තෛපොංගල් දිනයේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි එක්ව සිටිමු. අපි  දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදමු. ඒ වෙනුවෙන් තිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට එන ලෙස සියලුදෙනාට ආරාධනා කරනවා.”

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීමට බැරිවීම ගැන හොයන්න විශේෂ කාරක සභාවක්….

පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

20 වැනිදා 2025.12.15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන  සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.

ඒ අනුව 21 වැනිදා දිට්වා සුලි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත් කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව දිට්වා සුලි කුණාටුවෙන් පසු රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් නිවේදනය කරයි.

22 වැනිදා පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඉන්පසු පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

23 වැනිදා විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවන බව නාමල් කියයි….

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පසුගියදා වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ ආගමික නායකයෙකුට අපහාස කිරීම තමා තරයේ හෙළාදකින බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය”  ලෙස දක්වා ඇති අතර ලාල්කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාද යන්න තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පවසයි.

දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශය වහා ඉල්ලා අස්කර ගත යුතු බවට ජාතික සංඝ සම්මේලනය කියයි…..

මහා සංඝරත්නයට නින්දිත හා පහත් ආකාරයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නේ නම් එහි අනිටු විපාක වලට නුදුරේදීම මුහුණ දීමට සිදුවනු ඇති බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියන් පවසයි.

දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මත ගැටුම් ඇති වූවද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහස සිදුකර නොමැති බවය.

අද මහනුවර මඩවල ජනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමි මෙලෙස අදහස් පළ කළහ.

“රට කාබාසීනියා කරන කූඨ උපක්‍රම නියායපත්‍රයන් කසකැවෙනවානම් ඒවාට අභියෝගකරන්න අයිතිය අපිට අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ඉදලම මහා සංඝරත්නය ඒ වෙනුවෙන් කතා කළා ඉතින් අපි දැක්කා ලාල්කාන්ත මහතා කැළේ සත්තුවගේ එළියට ඇවිල්ලා වනචාරී පහත් තුච්ච ප්‍රකාශයක් සිදුකළා. අපි ඒ ඇමතිවරයාට කියන්න ඕනේ කරුණාකරලා ඔබගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න ඕනේ. මන්දයත් එහෙම නොවුනොත් හේ රට කොටි පැත්තට යන්නේ කියලා අපිට හිතාගන්න බැහැ. කරුණාකරලා අපි කියනවා ජනාධිපතිතුමෙනි මෙයා ඉක්මනින්ම බැදලා දැම්මේ නැති වුණොත් එහෙම මේ රට මීට වැඩිය අනතුරකට පත්වෙනවා ඒක වළක්වාගන්න කිසිකෙනෙක්ට බැහැ. කරුණාකරලා ඔබතුමාලා මේ සංස්කෘතිය ඇතුළේ වෙනස් වුණේ නැති වුනොත් එහෙම මේ රටේ ජනතාව ඉතා ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා.” 

චීන විදෙස් ඇමති වැන්ග් ඊ අද රාත්‍රීයේ දිවයිනට….

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා අද (11) රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා හෙට (12) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිලිබඳ දැනුම් දීම චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

ආපදා වන්දි දෙන්න ජනපති කුරුණෑගලට….

ව්‍යසනයට මුහුණදුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර  තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන් පූජ්‍ය ඉගුරුවත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝභිත විමලජෝත්‍යාධාන ස්වාමීන් වහන්සේ විසින් සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය විසින් සිදු කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

”අපි මුහුණ දුන්නේ මෑතකාලීන විශාලතම ව්‍යසනයකටයි. එහිදී බොහෝ අය කිව්වා ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වෙයි කියලා. හැබැයි මේ වන විට ආපදාවෙන් විනාශ වූ සියලු මාවත් අපි විවෘත කර තිබෙනවා. සන්නිවේදනය, විදුලිබලය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශපාලන අධිකාරියත්, විශේෂයෙන් රාජ්‍ය නිලධාරිනුත් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. අපි දන්නවා මේ රටේ ජනතාව තුළ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. හැබැයි මේ දිට්වා සුළි  කුණාටුවේදී අපේ රාජ්‍ය නිලධාරින් කොපමණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියා ඔප්පු කළා. බොහෝ නිලධාරී මහත්ම මහත්මීන් දිවා රෑ නොබලා වැඩ කළා. ඒ වගේම ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වුණා. එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි සැලකිය යුතු ප්‍රමාණයකින් යථාවත් වී තිබෙනවා. 

නමුත් මේ ව්‍යසනය අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනවා. මෙහි සිටින අපි කවුරුත් දන්නවා මීට පෙර අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි සියලුදෙනා මුහුණ දුන්නා. විදුලිය, ඉන්ධන, ගෑස්, කිරි පිටි ආදිය නැති වුණා. මුළු රටම කඩා වැටෙන තැනට පරිවර්තනය වුණා. එවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුයේ ස්වභාවික ව්‍යසනයක් මත නොවෙයි. ඒ වගේම එවැනි ආර්ථික කඩා වැටීමක් සිදු වුණේ ගම්වල ජීවත්වන අපේ අම්මලා, තාත්තලාගේ වැරුද්දකින් නොවෙයි. පැවති දේශපාලන අධිකාරිය පුරා පැතිරි තිබු දූෂණය, අල්ලස, අක්‍රමිකතාව සහ වැරදි තීන්දු ගැනීම ආදී කරුණු මත අපේ රටේ ජනතාව විශාල පීඩනයකට  මුහුණ දුන්නා. 

ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් යුතුව අපිව බලයට පත් කර ගත්තා. එහිදී ජනතාවගේ අරමුණු රැසක් තිබුණා. වංචා දුෂණයෙන් තොර පාලනයක්, වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර බේරා ගැනීම ආදී අරමුණු ඒ අතර ප්‍රමුඛ වුණා. ඒ වගේම සෑම කෙනෙකුටම ජීවත්වීමට හැකි ආදායම් මාර්ගක් සකස් කර ගැනීමේ අපේක්ෂාව තිබුණා. එම අපේක්ෂාවන් සපුරාදීමේදී වැදගත්කම සාධකය වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ වෙනුවෙන් මේ වන විට සැලකිය යුතුවැඩකොටසක් ඉටු කර තිබෙනවා. 

එවැනි අවස්ථාවක තමයි අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණේ. නමුත් එම ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැගීමේ ශක්තිය අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේදී වියදම් කිරීමට අපි කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. ඒ හයිය ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් පමණයි. 

අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස්විය යුතුයි. මම දන්නවා  නිසි ආහාර වේලක රස නොලැබූ ජනතාවක් සිටිනවා. පරම්පරාවටම හොඳ නිවසක් නැති වූ ජනතාවක් සිටිනවා. අපේ රටේ ජනතාව එසේ ජීවත්විය යුතු නැහැ.  වසර 70-80ක් වැනි ජීවිත කාලය තුළ සියලුදෙනාටම මිනිසෙක් ලෙස ජීවත්වී ජීවිතයෙන් සමුගත හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ නිසා අපි ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව මේ ආර්ථිකයක්, ජනතාවත් බලා ගන්නා රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටිනවා. අපි එය සිදුකළ යුතුයි. අපි එය ඉටු නොකළහොත් කිසිදිනක කිසිවෙකු එය ඉටු කරන්නේ නැහැ. එය කරනවා නම් පසුගිය වසර 76 තුළ කිරීමට හැකිව තිබුණා. නමුත් එය සිදු වුණේ නැහැ. මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ මේ ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් කෝටි 50,000ක් වෙන් කළේ. එවන් විශාල මුදලක් කිසිදිනක වෙන් කළේ නැහැ. 

අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට නම් පළමුව හැම කෙනෙකුටම හොඳ ආදායම් මාර්ගයක් හිමි කර දිය යුතුයි. ඒ වගේම අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි දන්නවා අපේ ගම්වල දරුවන්ට අනාගතය ජය ගත හැකි එකම මාවත වන්නේ අධ්‍යාපනයයි. අපේ අම්මලා, තාත්තලා දරුවන්ට උගන්වන්න මහා වෙහෙසක් දරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය හොඳ ප්‍රතිඵල ගෙනවිත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමාපියන්ට බරක්. දරුවන්ට දුකක්. 

ලැබී තිබෙන වාර්තා අනුව ළමයින් 50ට අඩු පාසල් 1150ක් පමණ ලංකාවේ තිබෙනවා. ඒවා පාසල් වන්නේ නැහැ. දරුවන්ට සාහිත්‍ය උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් පවත්වන්න බැහැ. අපි ඒ පාසල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා හොඳ, වැඩිපුර ළමයින් සිටින, ළමයින් එකට මුසු වෙන නව පාසල් පද්ධතියක් අපි ගොඩනැගිය යුතුයි. 

පැරණි පාසල කියා ගමේ පාසල රැකගෙන වැඩක් නැහැ. ඒ වගේම අධ්‍යාපනය අද දෙමාපියන්ට විශාල බරක්. ඒ වගේම දරුවාට දුකක් වෙලා තිබෙනවා. දරුවන්ගේ ළමා කාලය උදුරාගත් මෙම අධ්‍යාපනය වෙනස් විය යුතුයි. එසේ නම් අපි හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. අපි ඒ සඳහා පියවර ගන්නා විට ඒ විෂයකවත් නැති, අරමුණක්වත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් ගෙන තිබෙනවා. 

නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේත් මේ විදියටම ඊට විරුද්ධව පොර බැදුවා. මේ අවස්ථාවේදීත් එහෙමයි. මෙය යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, අපේ දරුවන් බලා ගන්නා අධ්‍යාපනයක්. අපේ දරුවන්ව ලෝකය සමග මුසු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්. එසේම අපේ දරුවන්ට පෞර්ෂයක්, නායකත්වයක් සහිතව ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක්. මැෂින් හදන හෝ තෙතමනයක්, අධ්‍යාත්මයක් නැති දෙමාපියන්, ගුරුවරුන්, ආගමික නායකයන්  හඳුනන්නේ නැති දරුවන් හදන අධ්‍යාපනයක් නොවෙයි. එවැනි අධ්‍යාපනයකින් අපිට ඵලක් නැහැ. 

මේ අධ්‍යාපන ක්‍රමය තෙතමනයක් සහිත, අධ්‍යාත්මයක් සහිත සහකම්පනයෙන් යුතු දරු පරපුරක් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක්. කවුරු මොනවා කිව්වත් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ ගම්වල ඉන්න අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. ඒ පිළිබඳ ගැටලු තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. අපි කියන්නම් මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙහි සිටින කවුරන් හෝ විශ්වාස කරනවාද අපි අධ්‍යාපනය විනාශ කරනවා කියලා. අපි එහෙම අය නොවෙයි. අපි ඈත ගම්වල ඉපදුණ අය. අපිට අධ්‍යාපනයේ යම් ඉඩක් විවෘත වු නිසා තමයි අද මේ වගකීම්වලට පත්වී සිටින්නේ. එසේ නොමැතිව අපේ පවුල් පසුබිම්, අපේ ගම්වල පසුබිම් අපි මෙතනට ගෙනාවේ නැහැ. අධ්‍යාපනය තමයි අපිට මේ පාරවල් කැපුවේ. ඒ නිසා ඈත ගම්වල ඉපදුණ අපිට ඉදිරියට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය නම් ඒ අධ්‍යාපනයට විනාශකාරී පාරක් අපි කපන්නේ නැහැ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දීමට අපිට අවශ්‍යයි.”

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්…..

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීමක් ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් බොහෝ ගැටලු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඒවාට සාධනීය විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු වූ අතර මෙම කටයුතු සිදු කරගෙන යාමේදී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා විය.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.