සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි…..

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා‍ පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.

ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති…..

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය.

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් (Johannes Zutt)මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ලෝක බැංකු නියෝජිතයෝ ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද යෝජනා කළහ.

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා ආධාර අනුමත කිරීම සිදුකර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පත්වාගෙන යමින් ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දූෂිත රටක් ලෙස  ජාත්‍යන්තරය තුළ ලේබල් වී තිබු ශ්‍රී ලංකාව වත්මන් රජය ගෙන යන  විනිවිඳභාවයෙන් යුත් වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථික, දේශපාලනික හා සමාජිය වශයෙන් කෙමෙන් ස්ථාවර වෙමින් තිබෙන බවද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ආංශික අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen),ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා කළමනාකරු ගෙවෝර්ග් සාර්කිසියන් (Gevorg Sargsyan) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද සුළඟින් එන නාමල් සුවඳ…..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය “මහින්ද සුළඟින් නාමල් සුවඳ” ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ නිල නිවසින් ඉවත් කිරීමෙන් පසු තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.

මෙයට පෙර හිටපු ජනාධිපතිවරයාට තනතුර අහිමිවීමෙන් පසුව ”මහින්ද සුළඟ” ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය

බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ ඇමති….

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවය.

එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත් එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත් බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන බවත් රජයක් ලෙස නීතියේ විධානයේ අධිපත්‍ය සුරක්ෂා කරමින් සමානාත්මතාවයෙන් යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික සහ නීති උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා තිබේ.

එහිදී සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්‍රධානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳවීමට මෙහිදී සිදු කෙරිණි.

හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය.

ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය.

ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.

කෙහෙළියගේ නඩුවක් අවසන්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන  නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09) නියම කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට නිසි දිනවල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ට දැනුම් දෙනු ලැබීය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙන බවය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන නිසා මෙම නඩු කටයුත්ත අවසන් කළ හැකි බව සඳහන් කළේය.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට මහාධිකරණය හමුවේ නිසි දිනවල පෙනී සිටින ලෙස නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අවධියේ අයථා ලෙස රුපියල් මිලියන 97 කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු, වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ දියණියන් තිදෙනා සහ බෑණා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

ඇමති වටගලට එරෙහිව පොදු ජන පෙරමුණ අධිකරණයට යන ලකුණු….

අයිස් මත්‍ද්‍රව්‍ය සිද්ධියට චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ලබා ගත් ඡායාරූප මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් ඔවුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුල නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළේ හිරු TV නාලිකාවේ දැන් විකාශය වෙමින් ඇති සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.

සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්…..

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇත.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.

එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව අපේ පින්තූර පෙන්න පෙන්න මාධ්‍ය සාකච්ඡා කරනවිට පැය දොළහක් ඇතුළත 4 දෙනෙකුට වෙඩි තියලා ගිහින්- නාමල් රාජපක්ෂ

ආණ්ඩුව අපේ පින්තූර පෙන්න පෙන්න මාධ්‍ය සාකච්ඡා කරනවිට පැය දොළහක් ඇතුළත 4 දෙනෙකුට වෙඩි තියලා ගිහින්.නාමල් රාජපක්ෂ

ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අද පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම් ගැන ඉවසාගෙන සිටියත් මින් මතු එවැනි ඉවසීමක් සිදුනොකරන බවයි.
රත්තරන් අශ්වයින්ගේ කතා ,ඩුබායි මැරියට් හෝටලයේ කතා ,උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේද කියාත් ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියා නාමල් රාජපක්ෂ විමසා සිටියේය.

එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.අපේ පින්තූර පෙන්න පෙන්වා මාධ්‍යහමු පවත්වන විට පැය දොලහක් ඇතුලත හතර දෙනෙකුට වෙඩ්තබා ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් පරීක්ෂා නොකර පිටතට යැවූ කන්ටේනර්වලට සම්බන්ධ ද කියා සාධාරණ සැකයක් මතුවන බවත් ඒ ගැන ආණ්ඩුවෙන් තමා විමසන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

අයිස් නිෂ්පාදනය සදහා නුවරඑළියේ ඉඩම ලබා දී තිබෙන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව හෙළි කරන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේදී රටේ පවතින ප්‍රචණ්ඩත්වය සහ රටේ සිදුවන පාතාල වෙඩි තබාගැනීම් නතර කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් ආණ්ඩුව කරන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසීම බවත් එවැනි තත්ත්වයන් වහාම වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ පැවසීය.
කන්ටේනර් 323 නිදහස් කිරීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙසට ආණ්ඩුවට තමා අභියෝග කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට ඇමති විජිත දිවයිනෙන් පිටත්ව යයි….

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය.

එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත්  නියමිතය.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත.

Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට හැකි වේ.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි වේ.