වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්…..

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කරගැනීම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ලබා දුන් තනතුරේ වගකීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරය ක්‍රියා කරන්නේද හරීන් ප්‍රනාන්දු මහතා බව වාර්තා වේ.

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදුව තිබේ.

පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයෝ ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දුන් අතර, එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

රාජ්‍ය ආයතන කිහිපයක ඇනහිටි මාර්ගගත සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත්…

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට ඇති වූ තාවකාලික බාධා වීම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එම ආයතනය සඳහන් කරනුයේ මෙම බාධාවන්ට මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිය ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරන බවය.

කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් සිදුව නොමැති බවත් එම ආයතනය පවසයි.

එමෙන්ම දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතබව පවතින අතර තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වන බවත් එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එම ආයතනය පැවසුවේ මේ හේතුවෙන් මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා සහතික පිටපත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීම් වැනි බලපෑමට ලක්වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

පසුගියදා එම සේවාවේ ඇති වූ අක්‍රීයතාවයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් රැසකට බාධා එල්ල විය.

මෙම සේවාවන් අතරට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි ඇතුළත් වේ.

හිටපු ඇමති මනූෂ අධිකරණයට රැගෙන එයි…..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබීය.

අද (15) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණියේය.

කතරගම ගොඩනැඟිල්ල ගැන හිටපු ජනපති ගෝඨාභයගෙන් ෆේස්බුක් සටහනක්…

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

– උපුටාගැනීම –

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ. 

2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ. 

එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි. එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි. 

ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි. 

මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි. 

කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය.

– උපුටාගැනීම අවසන් –

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා අපි කැපවී සිටිනවා – අගමැති….

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්,  පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය.

චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රාජ්‍ය කායකයෝ  සිය අදහස් ඉදිරිපත් කළහ.

සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර ගන්න එම  පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්‍රගතියක් ලබා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාවයසැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තියෙනවා, මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ වෙලා වගේම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69 ලෙස පැවති එයි 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා.

එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා.  ශ්‍රම බලකායේ  කාන්තා සහභාගීත්වය සලකා බැලීමේදී පිරිමි සහභාගීත්වය 73% වන විට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7% ක් පමණයි, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්‍රතිශතය උපාධිධාරීන්ගෙන් 35% ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8 ක් මධ්‍යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා.ඒ වගේම දේශපාලන සමානාත්මතාවය අත් කරගැනීමේ දී පවතිනේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්‍ය ක්‍රියාවලියක්.”

සෑම මට්ටමකදීම කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023–2027) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන කැපවීම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.

කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ  නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටලු සඳහා විසදුම් සෙවීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අග්‍රාමාත්‍යවරිය තහවුරු කළ බව සඳහන් වේ.

සමාරම්භක උත්සවයෙන් පසු, චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පවත්වන ලද නිල භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍යවරිය සහභාගී වී තිබේ.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වීමේ සූදානමක….

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වී එළැඹෙන පළාත් සභා මැතිවරණයට සටන් කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක දේශපාලන අධ්‍යාප තිරසර සංවර්ධන විද්‍යා පීඨය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඊයේ (11) මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරග කරනුයේ සමගි ජනබලවේග ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවත්ය.

එමෙන්ම විපක්ෂයේ සිටින මොහොතක මෙවැනි කැප කිරීම් සිදුකිරීමේ අවස්ථාද දුර්ලභ බවද විපක්ෂනායකවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“කැප කිරීම් කරලා, පරිත්‍යාග කරලා කුමක් උදෙසාද පළාත් සභාව ජයග්‍රහණය කරන්න. පක්ෂය ජයග්‍රහණය කරන්න. විපක්ෂයේ සිටින මොහොතක ඒ වගේ මහා පරිත්‍යාගයන් සිදුවන අවස්ථා බොහොම දුර්ලභයි. ඒ පරිත්‍යාගයන් කරන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ ආණ්ඩුව පිහිටුවන්න.”

2024 මැතිවරණය ආසන්නයේදී සතොස සේවකයින් 850ක් ස්ථිර කරලා – කෝප් කමිටුවේ දී හෙළිවෙයි…

පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි.

ඒ ලංකා සතොස නිලධාරින් එම කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන.” 

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “2024 සැප්තැම්බර් මාසයේ තිබුණ බොඩ් මීටිමක. වසර 2කට දුන් කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කරලා. එතකොට වසර 5ක් මේ තනතුරුවල ඉන්න ඕනේ. ප්‍රතිලාභ පැකේජයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. CEO කෙනෙකුගේ මූලික වැටුප රු.173,000යි. ඒ වැටුපට කවුරුත් මේකට ගන්න බැහැ.”

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනමින් වැඩකිරීම සුබදායී නැහැ.”

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “ඒක පිළිගන්නවා” 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “2024 ජුලි 850ක් පමණ සේවකයෝ ඡන්දය එන්න කලින් ස්ථිර කරලා.” 

ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන –  “එම ස්ථිර කිරීම් ගැටලු සහගතයි.”

අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න…..

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.

 

01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය 

02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 

02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය 
නියෝජ්‍ය අමාත්‍යවරු 
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය 

06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්……

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවය.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් අවධාරණය කර සිටින බව අදාළ නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1759997818-Media-on-2025.10