හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය.

එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.

දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව මේ වන විට කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

එහි දර්ශන ඉහතින්.

හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට……

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහිදී වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඊයේ (22) බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

රනිල්ගේ සිරගත කිරීම ගැන මහින්ද කනගාටුවෙන්….

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

“දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”

හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රියකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.

හිටපු ජනපති රනිල්ව අධිකරණයට රැගෙන එයි….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.

ඒ මහතාව රැගෙන ඒමත් සමඟ අධිකරණ භූමියේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පෙරවරු 9යට පමණ ඔහු එම ස්ථානයට පැමිණියේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් වී තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්. එම්. විජේවික්‍රම යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කරයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ද පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබුණි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට…….

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාට අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.