හිටපු කථානායක අශෝක රන්වලට ඇප…..

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ.මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බවය. ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.

අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් සහ ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකිවනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට අමෙරිකාව සුදානමින් සිටින බවත් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී උප ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනය හමුවේ සහාය ලබාදීමට හැකි වීම පිළිබඳ මෙහිදී සතුටු පළ කළ Allison Hooker මහත්මිය ආපදාවෙන්  මිය ගිය සියලුදෙනාගේ පවුල් වෙතද සිය ශෝකය පළ කර සිටියාය.

මෙම අසීරු අවස්ථාවේ විවිධ සහනාධාර සහ සහන කණ්ඩායම් මෙරටට එවමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැක් වූ සහාය වෙනුවෙන් මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාව ඇතුළු ලොව සියලු මිත්‍ර රාජ්‍යයන් ශ්‍රී ලංකාවට දැක් වූ හෘදයාංගම සහාය ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාවට මෙම ව්‍යසනයට මුහුණ දීමට සිදු වූයේ රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ආර්ථික දර්ශකද ඉහළ නංවා ගනිමින් සිටින මොහොතක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සහ දිගුකාලීනව යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශ වී ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ප්‍රධාන ආදායම් මාර්ග යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් යම් කාලයක් ගත වන බවත්,  එහිදී  සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එක්සත් ජනපද තීරුබදු පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබද අවධානය යොමු කර තිබෙන බවත්, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර වෙළෙඳ සහ නාවික කටයුතු පුළුල් කරගැනීම වෙනුවෙන් සහාය ලබාදීමට කටයුතු කරන බවත් උප රාජ්‍ය ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය සහාය ලබා දෙන බවද සඳහන් කළාය.

පසුගිය කාලයේ අමෙරිකානු සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර, තවදුරටත් එම පැමිණීම අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවතින ව්‍යසනය තත්ත්වයෙන් මිදී ශ්‍රී ලාංකික ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට අමෙරිකානු රජය ලබාදෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතුළු දූත පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

කබ්රාල් කොන්දේසි සහිතව නිදහස් – වන්දි ගෙවන්න එකඟවෙයි….

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළේය.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව, විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 3ක් ඇතුළත ඔහු විසින් මෙම නඩුවට අයත් රුපියල් 1,843,267,595.65 (බිලියන 1.8)ක මුදල දඩයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට බැරකළ යුතු බවය.

අදාළ කාලසීමාව තුළ කබ්රාල් මහතා විසින් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, දූෂණ විරෝධී පනතේ 67(5) වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම පළකළ නිවේදනයේ සඳහන් වේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, මෙම චෝදනා පත්‍රයේ රජයට පාඩු කළ බව සඳහන් රුපියල් 1,843,267,595.65ක මුදල දඩයක් වශයෙන් අය කර ගැනීමේ කොන්දේසියට යටත්ව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ, එසේ නම් විත්තිකාර කබ්රාල් මහතා දූෂණ විරෝධි පනතේ 67(3) වන වගන්ති ප්‍රකාරව කොන්දේසිවලට යටත්ව නිදහස් කරන ලෙසය.

ඒ අනුව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දූෂණ විරෝධී පනතේ 67(3)  වගන්තිය යටතේ කොන්දේසියට යටත්ව නිදහස් කිරීමට නියෝග කළ විනිසුරුවරයා, මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන්වන දොන් වසන්ත ආනන්ද සිල්වා, එම්.ඒ. කරුණාරත්න යන අය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ කොන්දේසි විරහිතව නිදහස් කිරීමටත් නියම කළහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මීට පෙරද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගත් කොළඹ මහාධිකරණය, අදාළ අධි චෝදනා පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ මෙම නඩුව යළි ගොනුකරනු ලැබීය.

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු – ජනපති….

ආපදාවෙන් පසු යළි ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු යැයි ජනාපතිවරයා එහිදී රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

ආපදාවෙන් විනාශ වූ වගා සඳහා කඩිනමින් වන්දි ලබා දීමටත්, නැවත වගාවට අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීමටත් ජනපතිගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

එමෙන්ම අඩු ආපදාවන්ට මුහුණ දුන් ස්ථානවල කාර්ය මණ්ඩල සහ උපකරණ දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන්න ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම නැවත ගොඩනැගීමේදී පෞද්ගලික අංශයෙන් විශාල සහායක් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා යළි රිමාන්ඩ්….

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දෙසැම්බර් 12 වන දින සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මෙම නඩුවට ඇතුළත් කර ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මෙනවිය වැඩිදුරටත් නියෝග කළාය.

පසුගිය (05) දින අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වල දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගයක්ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

මීට අමතරව අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව  පැවැති බව සඳහන්වේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල  පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  ඇති වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල  Facebook පිටුවේ සටහනක් තබා තිබුණි.

එය පහතින් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ හමුවකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ එක්වීමි.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් මම පෙන්වා දුන්නෙමි.

උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නෙමි.

එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මම අවධාරණය කළෙමි.

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි…..

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය වන අද (17)  විවාදයට ගැණුනු අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එලෙස සම්මත් වුයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂයයි.

විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉල්ලා සිටි අතර එහිදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 80කින් සම්මත විය.

එම වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්ද 87ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමිවුණේ 7ක් පමණි.

මේ අතර අද විවාදයට ගැනුණු  අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශය වැය ශීර්ෂය ද වැඩි ඡන්ද  80කින්  සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජී. ජී. පොන්නම්බලම්  යන මහත්වරුන් විසින් අධිකරණ  සහ ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද  87ක්ද විපක්ෂව ඡන්ද 7ක්ද හිමි විය.

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්…..

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුක් අමතමිනි.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා.

දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව…..

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.

එම විදුහල්පති සම්බන්ධයෙන්  නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා ‘විදුහල්පති’ ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවය.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.

‘විදුහල්පති’ යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුර සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් නොවන අයෙකු එලෙස ‘විදුහල්පති’ නාමය භාවිතා කිරීම විදුහල්පති සේවයට කරන අසාධාරණයක් බවයි.

තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට
“ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු” ලෙස හඳුන්වන ලෙසයි.