රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි…..

වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (28) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පූර්ණ අවස්ථාව ලබාදී තිබේ.

අද පැවැති මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිහිපයකට එළඹ ඇති අතර දැනට ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩ තවදුරටත් සිදුකිරීමට එහිදී තීරණය කර ඇත.

රෝහල් තුළ නොමැති ඖෂධ පිටතින් රැගෙනඒම සඳහා තුණ්ඩු ලිවීම තවදුරටත් සිදු නොකෙරෙන අතර දේශපාලන කණ්ඩායම්වලින් සිදුකෙරෙන සෞඛ්‍ය කඳවුරු සඳහා සහභාගී නොවීමටද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ද්‍යෛවරු ප්‍රමාණවත් නොමැති රෝහල් තුළ ඉදිකෙරෙන වාට්ටු සහ ඒකක ඉදිකිරීම් අවස්ථා සඳහා සහභාගී නොවීමට ද අද පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර ඇත.

ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

විදේශ කටයුතු‚විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදුකළ පුද්ගලයෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය වී තිබේ.

සැකකරු  මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, යටිනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු බව සඳහන් වේ.

සැකකරු ඊයේ  (27) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු පසුගිය 26 දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව ස්ථානයක රැඳී සිටිමින් ජාවාරම මෙහෙයවන අවස්ථාවේ දී ය.

මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදුකර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු කිහිපයක් ම පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

නාමල් හා කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන ඇමති අතර හමුවක්….

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ලෙස පිළිගැනෙන කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් අද (28) බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුව ඇත.

සිද්ධරාමයියා මහතා කර්ණාටක ප්‍රාන්තයේ සංවර්ධනය සහ දියුණුව උදෙසා බොහෝ වැඩ සිදුකළ අයෙකු ලෙස ප්‍රචලිතය.

කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහාවන සමාජ සුබසාධන යෝජනා ක්‍රම රැසක් ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඔවුන් දෙපළ තොරතුරු තාක්ෂණය සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳ මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවට…..

2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්, ඔහු අද (23) මේ බව ප්‍රකාශ කළේ.

මේ කාල සීමාව තුළ රිය අනතුරු 135ක් සිදුව ඇති බවත් ඉන් රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනෙකු මිය ගොස් ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තියේ යෙදෙන සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගනු ලබනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබෙනවා. 

රියදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව දියත් කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. 2026 වසරේ සිදුකළ වැටලීම්වලින් පසුගිය දින 22 ට විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 135ක් සිදුවී තිබෙන අතර දින විසිදෙකට රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනකු මිය ගොස් තිබෙනවා. 

මේ තත්ත්වය වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. එබැවින් සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ…..

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ  සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.

ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඒ සඳහා නම් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව….

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මේ වනවිට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවය.

රටේ අනාගත විදුලිබල අවශ්‍යතාවන් හා අරමුණු ඉෂ්ට කරගැනීම පෙරදැරි කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව ද විදුලිබල මණ්ඩලය කියයි.

විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලුම වර්ගයේ පාර්ශ්වකරුවන් සහ කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙය සිදු කෙරුණු බව ද ඔවුන් පෙන්වා දෙයි.

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් පත් කිරීමේ ප්‍රමාදය ගැන CoPF අවධානය…..

කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතට අනුව සමාගමක් ව්‍යාපාරයක නිරත වීමට අදහස් කරන අවස්ථාවකදී, ඒ යම් ඉල්ලුම්කරුවෙකුට කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ව්‍යාපාරයේ නිරත වීම සඳහා බලයලත් තැනැත්තෙකු ලෙස සුදුසුකම් ලැබීම සහ අවසර ලැබීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සිදු කළ යුතුය.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ මේ වන විට එම ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ අයදුම්පත් 72ක් පවතින බවය.

මේ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අත්සන් කරන ලද අභිප්‍රාය ප්‍රකාශ ලිපිය හේතුවෙන් 2025.07.04 දින සිට මෙම ක්‍රියාවලිය අත්හිටුවන බවට දැනුවත් වූ බවය.

එබැවින් මෙම අයදුම්පත් සලකා බැලීම සිදු නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ.

එහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2025 ජුලි මස වන විටත් අයදුම්පත් 54ක් ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන්ද සලකා බැලීම ආරම්භ කොට නැති බවය.

ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ පනතේ සංශෝධන සිදුවීමට නියමිත බැවින් මීට අදාළ ක්‍රියාවලිය ඉදිරියට සිදු කරන ආකාරය වෙනස් විය හැකිද යන්න සැකයක් පැවති බවත් මේ නිසා ඉදිරි කටයුතු සිදු නොකළ බවත්ය.

එසේම සංශෝධිත පනත ජනවාරි 20වනදා බලාත්මක වූ බැවින් මේ සම්බන්ධ ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කරන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටට නව ආයෝජන පැමිණීම රටේ සියලු දෙනාගේ අරමුණ බවත් මේ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම වැදගත් බවත් ය.

තවද සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT System) ක්‍රමවේදයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

මින් පෙර 2025 ඔක්තෝබර් මස නිලධාරීන් කාරක සභාවට පැමිණි අවස්ථාවේදී පෙන්වා දුන්නේ VAT ක්‍රමවේදය යටතේ නැවත ගැනීමේ හැකියාව සහිත ගෙවීම (Refund payments delays) නැවත ගැනීමේදී 100%ක විගණනයක් කරන බවත් මේ නිසා ප්‍රමාදයක් පවතින බවත්ය.

නමුත් මෙම SVAT ක්‍රමවේදය මගින් එම ප්‍රමාදය අවම කරමින් දින 45ක් ඇතුළත කඩිනමින් එම නැවත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ හැකි බවද සඳහන්.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ජනවාරි 15 වන විට ආපසු ගෙවීම් 96%ක් පමණ සිදු කර ඇති බවත් පැරණි ගෙවීම් බහුතරයක් ද සිදු කර ඇති බවත්ය.

කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ තොරතුරු අනුව SVAT ක්‍රමවේදය මගින් පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන කිබෙන බව නිරීක්ෂණය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් තම ප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පල කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, අජිත් අගලකඩ, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන් සහ චම්පික හෙට්ටි ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීමට අවධානය…..

පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක  විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා..මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ.”

මීළඟ පාර්ලිමේන්තු‍ සතියේ වැඩ වෙන හැටි……

පාර්ලිමේන්තුව ලබන මස 03, 05 සහ 6 යන දිනවල රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මෙම දින තුනෙහි පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1  සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර
පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ අංක 2396/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පක්ෂය) විවාදයට ගැනේ.

2026 පෙබරවාරි 5 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා තත්‍ය දේපළ වෘත්තීකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත.

එසේම පාර්ලිමේන්තුවේ දැනට පළමුවර කියවා ඇති  කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්‍ට බලපත්‍ර ලබාදීමේ පනත් කෙටුම්පත සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුණහොත් එම පනත් කෙටුම්පත් දෙකට අදාළ   දෙවැනිවර කියවීමේ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සිදු කෙරෙනු ඇත.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට කාලය වෙන්කිරීමට මෙහිදී තීරණය වී තිබේ.

ඒ අනුව හේෂා විතානගේ, චමින්ද විජේසිරි, රවී කරුණානායක, ලාල් ප්‍රේමනාත්, රෝහණ බණ්ඩාර, නලින් බණ්ඩාර ජයමහ සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් යෝජනා විවාදයට ගනු ඇත.

අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව (විපක්ෂය) විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබේ.

මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට…..

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදීය.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක පමණ ප්‍රමාණයක් ඇති බවට සැක කරයි.

අදාළ සැකසහිත බහුදින ධීවර යාත්‍රා දෙක මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද වාර්තා වෙයි.