බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….

කිලෝග්‍රෑම් 4කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් මෙලෙස සොයා‌ගෙන ඇත.

මෙ‍ම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 68කට අධික බවට අනුමාන කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ආපදා මරණ 465 දක්වා ඉහළට…..

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත,  පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට දැඩි හානි සිදු වීම හේතුවෙන් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,1 (1)

වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය (හුණුවිලගම පිවිසුම), යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස (පලටුපාන පිවිසුම), මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවය.

මීට අමතරව සංචාරක නිවාස කිහිපයක්ද හෙට සිට විවෘත කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව කුමන ජාතික උද්‍යානය – තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානය – ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානය – මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානය – රඹවිල සංචාරක නිවාසය, යාල ජාතික උද්‍යානය – I කොටස හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව, මහා සීලව, යන සංචාරක නිවාස හෙට දින සිට විවෘත වනු ඇත.

සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් එම මවගේ ජීවිතය බේරා ගැනීම්ට හැකිව තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් සහ අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවකු අද (02) උදෑසන 6.30 ට පමණ අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්අතු ඔයට පැන ඇති බව පොලීසිය පවසයි.

මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත් පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කළේය.

කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබේ.

මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබයි.

නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….

පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට කඩා වැටුණු මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන තිබුණි.

ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස කඩා වැටී තිබුණි.

ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..

ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේම ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේ එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙන බවත්, හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

එසේම වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකුගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසූ සහකාර ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බවත් පැවසීය.

විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකි බවත්, තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය.

ජල ගැලීම්වලින් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස යම්කිසි ආකාරයකින් නැවත මඩ, පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා 1(2025) චක්‍රලේඛයේ 5(2) වගන්තිය සංශෝධනය කර තිබෙන බවත්, ඒ අනුව මෙම ආපදාවට මුහුණ දුන් සෑම නිවසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ  සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළ බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….

ආපදා අවස්ථාවක සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

මේ වන විට මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

මහජනතාව බියට සහ කැළඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මේ ආපදා අවස්ථාවේදී රටම එකට එක්ව සිටින අවස්ථාවේදී සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා රජය ප්‍රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බවත්, එහිදී සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂකතුමන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකථන අංකයට හෝ ගුවන් තොටුපළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන් තොටුපළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට අමතරව පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකථන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කරදී ඇත.

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.

මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කළේය.

විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වී තිබේ.

ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.