සමාජ මාධ්‍ය කැලඹූ විඩීයෝවේ සේවකයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට….

මහනුවර – ගොහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවා අද (14) අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවය.

මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ (13) බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහර දී තිබුණි.

ඊට අදාළ වීඩියෝ පටයක් ද අයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර එම වීඩියෝ පටයද සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

‘බටු මීයා’ගේ බිරිඳ සහ තවත් තිදෙනෙකු පොළොන්නරුවේ දී අත්අඩංගුවට…..

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපති මිරන්ත වරුසවිතාන නමැත්තා ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයේ පසුගියදා අත්අඩංගුවට ගත් ‘බටු මීයා’ නම් සැකකරුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් පිරිස පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව ඇත.

මෙහෙයුම් අවසන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයින්….

” දිට්වා ” සුළි කුණාටුවෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හමුදා භටයන් විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ ගලවා ගැනීම් සහ සෝදිසි කිරීමේ මෙහෙයුම් නිමාවට පත් කර තිබේ.

ඒ අනුව, එම භටයන්ගෙන් පිරිසක් ඒ සඳහා යොදා ගත් වාහන සහ උපකරණ කීපයක් රැගෙන අද (14) පස්වරුවේ එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අබුඩාබි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයට විශාල ට්‍රක් රථ 04 ක්, විදුලි ජනක යන්ත්‍ර සහ තවත් උපකරණ මෙන්ම, මෙම මෙහෙයුම් සඳහා දායක වූ , ඒවායේ ක්‍රියාකරුවන් 16 දෙනෙකු ද එක්වී සිටියහ.

පීඩාකාරී ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ 18ක් අත්අඩංගුවට…

මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ පීඩාකාරී අන්දමින් අවදානම් සහගත ලෙස යතුරුපැදි සහ ත්‍රිරෝද රථ පැදවූ තරුණයන් 18 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණයක් මුදල් ඔට්ටු අල්ලමින් මෙය සිදුකර ඇති බව සඳහන්.

මේ සඳහා යොදාගත් යතුරුපැදි 11ක් හා ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

දිස්ත්‍රික්ක 2කට තවදුරටත් නායයෑම් රතු නිවේදන……

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත.

තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, ගලිගමුව, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, පල්ලේපොල, රත්තොට, යටවත්ත, අඹන්ගඟ කෝරළය, විල්ගමුව, උකුවෙල සහ නාඋල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, මතුරට, නෝර්වුඩ්, හඟුරන්කෙත, නුවරඑළිය, කොත්මලේ බටහිර, වලපනේ, තලවාකැලේ සහ නිල්දණ්ඩාහින්න මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත් වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1
——————————-
ගම්පහ දිස්ත්‍රික්කයේ: දිවුලපිටිය, මීරිගම සහ අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ : දැරණියගල, රුවන්වැල්ල සහ දෙහිඕවිට

ඉන්දියානු මහකොමසාරිස්වරයා මහියංගනයට…..

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අද (12) මහියංගනයේ ස්ථාපිත කර ඇති ඉන්දියානු ජංගම රෝහලේ නිරික්ෂණ චාරිකවට එක්විය.

මෙම ජංගම රෝහල ඉන්දියානු රජයෙන් ලබා දී ඇති අතර එය ගංවතුරින් හානියට පත් මහියංගන රෝහල යථා තත්ත්වයට පත්වන තුරුම ක්‍රියාත්මක විය.

මේ වනවිට මහියංගන රෝහලේ ප්‍රතිකාර කටයුතු  ආරම්භ කර ඇති අතර ඒ අනුව මෙම ජංගම රෝහලේ වැඩ කටයුතු අද පස්වරුවෙන් අවසන් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නිතිඥ කපිල ජයෙස්කර මහතා, ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් වී. එස්. සරන්යා මහත්මිය, මහියංගන ප්‍රාදේශිය සභා සභාපති නිතිඥ උපේක්ෂා විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්…..

මෙම වසරේදී මෙන්ම පසුගිය වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය සහ මෙම වසර දෙක ඇතුළත රත්‍රං පවුම් 354ක්, වාහන 77ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක්, රුපියල් එක්කෝටි එකසිය හයක වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බවය.

එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150ක්, වාහන 64ක්, මුදලින් රුපියල් කෝටි 6ක්, සහ රුපියල් කෝටි 61ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේදී රත්‍රං පවුම් 204ක්, වාහන 13ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඉඩම් සහ දේපොළ සහ නිවාස 18ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි…..

ඉදිරි පැය 36දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මත්පැන් බලපත්‍ර ගාස්තුව ඉහළට….

සියලු‍ම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 100%කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, කර්මාන්ත ගාස්තුව සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව සහ ආරක්ෂිත ඇප තැන්පතු මුදල ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එම සංශෝධන අනුව ගෙවීම්  සිදු කළ යුත්තේ ලබන ජනවාරි පළමුවනදා සිට බවය.

ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි….

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු 9වනදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.